කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය ජනපති අතින් විවෘත වේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි.

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය අතිනවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර, සේවා නවාතැන් 41 ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541 කින් සමන්විතය.

පීත්ත පටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබීය.

එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිතුමා 32වන මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කළේය.

ෂැන්ග‍්‍රිලා ආසියා සමාගමේ සභාපති Hui Kuok මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ෂැන්ග‍්‍රිලා ආසියාහි ප‍්‍රධාන විධායක නිලධාරි Lim Beng Chee, ෂැන්ග‍්‍රිලා ශී‍්‍ර ලංකා හෝටල් සමූහයේ අධ්‍යක්ෂ Sajjad Mawzoon යන මහත්ම මහත්මීන් සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *