තෙල් අවුලට වගකිව යුත්තන් සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි පෙට්‍රල් හිඟයක් ඇති වීමේ සිද්ධියට නිශ්චිතව ම වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.

පෙට්‍රල් හිඟයට තුඩු දුන් හේතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු අමාත්‍ය අනු කමිටු නිර්දේශය මත මෙම ත්‍රිපුද්ගල නිලධාරි කමිටුව පත් කෙරෙන අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.

ඒ පිළිබඳ පත් කළ අනු කමිටුවේ වාර්තා අනුව, සිදුව ඇති බරපතළ වරදක් වනුයේ පෙට්‍රල් තොග පිළිබඳ උද්ගතවූ බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් ඉහළ දේශපාලන අධිකාරිය දැනුවත් නොකිරීම යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ඛනිජ තෙල් තොග කළමනාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පැවැති දුර්වලතා මෙම හදිසි තෙල් හිඟයට හේතුවූ බවයි.

විශේෂ කාර්යභාරය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහත්වරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙවැනි ඉන්ධන හිඟයක් ඉදිරියේදී ඇති වීම වැළැක්වීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදිය බවද ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ඇමැති දයාසිරි ජයසේකර මහතා,

‘කමිටු වාර්තාවේ කරුණු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් ම පොම්ප කිරීම හා ගබඩා කිරීමේ භෞතික ව්‍යුහයේ ඉඩකඩ සැලකිල්ලට ගෙන අවම තොග පවත්වා නොගැනීම, තත්ත්වයේ බරපතළකම පිළිබඳ ඉහළ දේශපාලන අධිකාරිය දැනුවත් නොකිරීම, ක්ෂණික තත්ත්වයන්ට මුහුණ දීමට යාන්ත්‍රණයක් නොවීම, තොග පාලන කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක් කොට ගෙන ආරක්ෂිත තොග පවත්වා නොගැනීම, මිල ගණන් ගණන් සැකසීමේ යාන්ත්‍රණයට අනුගත වෙමින් විනිවිද පෙනෙන දීර්ඝ කාලීන මිලදී ගැනීමේ ක්‍රමයක් භාවිතා නොකිරීම සහ මීට ප්‍රථ‍මයෙන් විෂය භාරව සිටි ඇමැතිවරුන් පෙන්වා දී තිබූ පිරිදි තෙල් ගබඩාවල ධාරිතාව වැඩි නොකිරීම යනාදිය එමඟින් පෙන්වා දී තිබෙනවා.

සමාගම් රාජ්‍ය පාලන කාලයේ සිට මේ සංචිත ධාරිතාව ‍මෙට්‍රික් ටොන් 90,000 දක්වා පවත්වා ගෙන ගොස් තිබෙනවා. තෙල් සංස්ථා නිලධාරීන් මේ කරුණු සම්පූර්ණ කළා නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ නැහැ කියන කාරණය එයින් පෙන්වා දී තිබෙනවා. එනම් අදාළ වන ධාරිතාව වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ කියන කාරණය තමයි එයින් පැවසෙන්නේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ දීර්ඝ කාලීනව තීරණ නොගැනීම නිසා පහසුවෙන් භාවිතා කළ හැකි තෙල් ටැංකි භාවිතා නොකිරීම, දැන් පවතින සීමිත ධාරිතාව තුළ පවා උපරිම වශයෙන් ගබඩා කර හිඟයකින් තොරව පෙට්‍රල් බෙදා හැරීම සඳහා සාර්ථක වැඩසටහන් ක්‍රියාත්ම නොකිරීම කියන කරුණු තමයි මෙහිදී පෙන්වා දී තිබෙන්නේ.

වගකිව යුතු නිලධාරීන් පිළිබඳ සොයා බලන්න කමිටුවක් පත් කරන්න කියලා අර්ජුන රණතුංග ඇමැතිතුමා ඊයේත් සඳහන් කළා. නිලධාරීන්ට තමයි එහි වගකීම මූලික වගකීම පවරා තිබෙන්නේ. අදාළ තාක්ෂණික දැනුම සහිත නිලධාරි කමිටුව මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරනු ඇති. සංචිත ධාරිතාව පවත්වා ගෙන යාමේදී 92 කාණ්ඩයේ පෙට්‍රල් එක්ලක්ෂ එකසිය හැට හතරක් සඳහා ලංකා ‍තෙල් සංස්ථාව සතුව ඉඩකඩ තිබෙනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතු තෙල් සංචිත ද සමඟ මුළු සංචිතය ‍පෙට්‍රල් 92 සහ 95 පෙට්‍රල් ලීටර් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දාසය දහස් නවසිය හැත්තෑ අටක් තිබිය යුතුයි.’

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඛනිජ තෙල් අමාත්‍යාංශය භාරව සිටින අර්ජුන රණතුංග ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් වග කිව යුතු නැතිද යන්නයි. එහිදී දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා සිටියේ ‘තෙල්’ වැනි අත්‍යවශ්‍ය සේවාවක් ජනතාවට සැපයීමේ ක්‍රියාවලියේදී විෂය භාර ඇමැතිවරයා මෙයට වඩා සැලකිලිමත් විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *