නවතා තිබූ මහපොල ප්‍රදර්ශනය යළිත්

(කොළඹ, ලංකාපුවත්) –දශක 2කට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කරයි.

නව ප්‍රදර්ශනය වඩාත් ඵලදායී ලෙස රජයට බරක් නොවී මහපොළ අරමුදල ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේදී අදාළ නිළධාරීන් හමු වී මහපොළ ආරම්භ කිරීමේ මුලික සාකච්ඡාවේදී සුජීව සේනසිංහ මහතා මෙසේ අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා මහපොළ භාරකාර අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රාශියක නිළධාරීන් මීට සහභාගී විය. නව මහපොළ ආරම්භ කිරීමේදී කාලීන අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් අනාගත තරුණ පරපුර උසස් ජීවනෝපායන් සඳහා යොමු කිරීමට ද අවදානය යොමු කරන බව සේනසිංහ මහතා එහිදී කියා සිටියේය.

වසරකට මහපොළ ප්‍රදර්ශණ 3 -4 ප්‍රමාණයක් දිවයිනේ විවිධ පළාත් වල පැවැත්වීමට අවදානය යොමු වී තිබේ. එහිදී ප්‍රදේශයේ තෝරාගත් පාසැල් වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කැපකරු මාපිය රැකවරණ ක්‍රමයක් ආරම්භ කිරීම වැනි විවිධ සුබ සාධන වැඩසටහන් රැසක් මීට සමගාමීව ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *