එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය H.H. Sheikh Abdullah bin Zayed Al Nahyan මහතා පසුගිය 18වනදා පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ශ‍්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින සබදතාවල සිදුවූ සීඝ‍්‍ර වර්ධනය පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා විසින් තම සතුට පළකළේය.

දෙරට අතර සබදතා වලට විශාල ශක්තියක් වන එරට වසන 125000 ක් වන ශ‍්‍රී ලාංකික සේවක පිරිස්ගේ ශ‍්‍රම දායකත්වය සිය ආර්ථිකයට විශාල ශක්තියක් සපයන බව H.H. Sheikh Abdullah bin Zayed Al Nahyan මහතා මෙහිදී සදහන් කළ අතර, එම ශ‍්‍රම දායකත්වය මෙරටට විදේශ විනිමය සපයමින් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය සහ ආයෝජන ඉහළ නංවාගැනීම පිළිබදව ද සංචාරක, හෝටල් කර්මාන්ත, මූල්‍යමය ආයතන හා ගුවන්සේවා ආදියට මෙරට ඇති පුළුල් ඉඩකඩ පිළිබදව ද සාකච්ජාවට බදුන් විය.

ඩුබායි වලට නැගෙනහිරින් පිහිටි ශක්තිමත්ම මූල්‍ය කේන්ද්‍රය බවට කොළඹ නගරය පරිවර්තනය කිරීමට, ශ‍්‍රී ලංකාව කටයුතු කරගෙන යන බවත්, එයට ප‍්‍රබල මූල්‍ය කේන්ද්‍රයක් වන ඩුබායි නගරයෙන් ලබාගත හැකි සහයෝගය අපමණ බව ද සාකච්ජාවේදී සදහන් විය.

මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් ද දෙරටේ තානාපතිවරුන් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *