ඉන්ධන ගැන ගැටළුවක් ඇත්නම් කියන්න දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන හිඟයක් ඇති බවට පැතිර යන අසත්‍ය කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලේකම්වරයා කියා සිටියේ මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බවත්ය.

එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් සැපයීමට හැකි බව ලේකම්වරයා පැවසීය.

එසේම ඉදිරි සති දෙක තුන තුළ තවත් තෙල් නැව් කිහිපයක් ඇනවුම් කර ඇති බවත් එම නිසා මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“කිසියම් පිරිසක් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරය කරමින් සිටී.

මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත යමින් ඉන්ධන තොග රැස් කරන බව වාර්තා වේ. කෙසේ නමුත් රට තුළ කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් නොමැති බව අවධාරණය කරමි. එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. බාහිර පුද්ගලයින්ගෙන් අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන මිලදී නොගන්නා ලෙසද අවශ්‍ය තරම් ඉන්ධන තොග අප සතුව ඇති බැවින් ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසද මහජනතාවට දැනුම් දෙමි.

එමෙන්ම කිසියම් ගැටළුවක් ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකය 0115 455 130ට අමතන මෙන් කාරුණිකව දන්වා සිටිමි. අපගේ ගබඩාවලට පැමිණෙන සියලුම බවුසර්වලට කිසිඳු ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබා දීමට හැකි බවද දන්වා සිටිමි…” යනුවෙන්ද ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත්, ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *