ගිංතොට සාමකාමීයි – ගිංතොට වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපලවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලිසියට දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගිංතොට දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමටඊයේ(19) එහි ගිය අවස්ථාවේ අදහස් දක්වමිනි.

සිද්ධිය හේතුවෙන් හානියට පත් නිවාස හා වෙළෙඳ සැල් කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහ දී සිංහල ගැමියන් පිරිසක් හා මුස්ලිම් පිරිසක් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළේය. මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතා ද, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.

අගමැතිවරයා ප්‍රථමයෙන් මහහපුගල විදානගොඩ ප්‍රහාරයට ලක්වූ නිවසක් පරීක්ෂා කළ අතර එහි දී අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේය.

” අපි රජයක් ලෙස නීතිය හා සාමය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැම් අය පවසනවා අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බව. එවැනි අයටත් අනිවාර්යයෙන් ම දඬුවම් කළ යුතුයි. ඒ වගේ ම අපි ග්‍රාම නිලධාරීවරුන් මගින් මේ හානි පිළිබඳ වාර්තාවක් අරගෙන එය තක්සේරු කරලා රජය මගින් හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියළුම දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත්, නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ මේ තත්ත්වය පාලනය කරලා සාමය ඇතිකරන්න. මේ ගමේ දෙපිරිස ම එකට සමගියෙන් ජීවත්විය යුතුයි. අපි ඒ සඳහා ඉක්මණින් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. සමගිය යළි ඇතිකිරීම සිදුකමින් යන අතර පිටතින් එන පුද්ගලයන් මේවගේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා අපි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා. ඇඳිරිනීතියත් මේ ප්‍රදේශයට පමණක් අවශ්‍යනම් පනවන්න කියා අපි උපදෙස් දී තිබෙනවා.”

අග්‍රාමාත්‍යවරයා හා මැති ඇමතිවරු පිරිස දෙවනුව ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් ජාතික නිවසකට ද ගියේය. එහි නිවැසි මොහොමඩ් වඩූඩ් මහතා කියා සිටියේ සිංහල හා මුස්ලිම් දෙපිරිස දශක ගණනාවක් මේ ගමේ ඉතා සමගියෙන් ජීවත් වූ බවයි. මෙවැනි සුළු සිද්ධියක් පදනම් කරගනිමින් ඇතැම් පිරිස් විනාශයක් කිරීමට ගන්නා උත්සාහය නතර කර දෙන ලෙස ද ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහි දී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරියට කිසිදු සිද්ධියක් වීමට රජය ඉඩ නොතබන බවයි. දැනට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බවත් හානි සිදුවූ දේපලවලට වන්දි ලබාදීමට රජය ක්‍රියාකරන බවත් අගමැතිවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ කීවේය.

“අපි සිද්ධිය ඇතිවූ වහාම පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යෙදවූවා. ඒ නිසා මුල් දවසේම තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබුණා. පසුදා ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණු නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානගත කළ ආරක්ෂාව ඉවත් කරලා ජංගම මුර සේවා යොදවන්න කටයුතු කළා. මේ අතරේ තමයි පිරිසක් ඇවිත් පහරදීම කරල තියෙන්නේ. එය දැන් යළි සිදුවන්න ඉඩ තියන්නේ නැහැ.”

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහි දී මෙසේ කීවේය.

“මේ ගමේ මුස්ලිම් හා සිංහල දෙපිරිස ම ඉතා සතුටින් සමාදානයෙන් ජීවත් වුණා. මේ තත්ත්වය ඇතිවුණේ විවිධ පුද්ගලයන් ගෙනයන අසත්‍ය ප්‍රකාශ නිසා. ගොඩක් බොරු ප්‍රචාර යනවා. මේ අවස්ථාවේ ඒවාට රැවටෙන්නේ නැතිව ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා. “

හානි සිදුව ඇති දේපලවලට වන්දි මුදල් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපති නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍යනිලධාරීන්ට මෙහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙසත් පිටතින් පුද්ගලයන් පැමිණ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය වුවහොත් ඇදිරිනීතිය යෙදීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *