අගමැතිවරයා නිරවද්‍යභාවයේ සංකේතයක්

(කොළඹ, ලංකාපුවත්) –වරදක් නොකලත් වරදකරුවන් බවට පත්වන අවස්ථා සමාජය තුළින් නිරීක්‍ෂණය කළ හැකි බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රා මදින පොල් ගසක් යට සිට වතුර පොදක් පානය කළද ඔහු රා පානය කළ පුද්ගලයෙකු ලෙස හැදින්වීමට ඉඩ ඇති බවයි. සෑම අවස්ථාවකම නිවැරදිව වැඩ කටයුතු කරන්නේනම් කිසිදු අවස්ථාවක බිය වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට කදිම උදාහරණය බවද ඔහු පැහැදිලි කළේය.

පුත්තලම තබ්බෝව දී ඊයේ (20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජනතාවගේ ආදායම් ඉහළ දැමීමේ ව්‍යාපෘති කිහිපයක් හදුන්වාදීම සහ ග‍්‍රාමීය නායකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධාන කර තිබුණේ පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඇතුළු තවත් ආයතන කිහිපයක දායකත්වය ඇතිවය.

අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේද රනිල් වික‍්‍රමසිංහ මහතාට විවිධ චෝදනා එල්ල වූ බවත් ඒවාට නිසි පිළිතුරු ලබා දීමට පසු කාලයේ බටලන්ද කොමිෂම හමුවේ පෙනී සිටීමටද අගමැතිවරයා කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් මර්ධනය කිරීමට එවකට විවිධ ව්‍යාපෘති දියත් වූ බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් බටලන්ද කොමිෂම හමුවට ගොස් ලබා දුන් පිළිතුරු හමුවේ අගමැතිවරයා නිවරදි වූ බවත් පසුව එම කි‍්‍රයාදාමයට අදාලව නඩු පැවැරීමක් හෝ සිදු නොවු බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට බැදුම්කර කොමිසම වෙතද ගොස් සියළු විමසීම්වලට පිළිතුරු ලබා දීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවත් නිවරදිව කටයුතු කිරීම හේතුවෙන් නොබියව නොපැකිලිව කොමිසම හමුවේ පෙනී සිටීමට අගමැතිවරයාට හැකි වූ බවත් රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

මෑත ඉතිහාසය තුළ හිටපු ජනාධිපතිවරයාගේ බිරිදද ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැදවා තිබූ අවස්ථාවේ රට වටෙන් ජනතාව ගෙන්වීමට කටයුතු කර තිබූ බවද ඔහු සිහිපත් කළේය. නොබියව චෝදනාවලට පිළිතුරු ලබා දීමට ඇති නොහැකියාව ඊට හේතුව බවයි ඔහු පැහැදිලි කළේ. කෙසේ වෙතත් අගමැතිවරයා රට වට සෙනග රැුස්කරමින් ජන බලයෙන් නිවරදිකරු වීමට උත්සාහ නොකළ බවත් එය ඔහුගේ විශ්වාසය හා නිරවද්‍යභාවයේ සංකේතයක් බවත් ඔහු කියා සිටියේය.

ගිහි ජීවිතයට සමුදී භික්‍ෂුවක ලෙස නව ගමනක් ආරම්භ කිරීමේදී වඩාත් ආරක්‍ෂා විය යුතුවා සේය නායකයින් ලෙස අපේක්‍ෂකයින් මන්ති‍්‍රධූරයට පත්වීමේදීද වගකීමේන් කටයුතු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

විනිසුරුවරුන් ඇතැම් නඩු විභාගවලින් ඉල්ලා අස්වන අවස්ථා තිබෙනවා. ඇතැම්විට විත්තිකාර පාර්ශවයේ හෝ වෙනත් කණ්ඩායමක් සමග හෝ ඇති දැන හැදුනුම්කම් ඊට හේතුු වෙන්න පුළුවන්. එය නිවරදි හා විශ්වසනීය නඩු විභාගයක් සඳහා අවස්ථාව උදා කිරීමක් ලෙසයි සැලකිය හැකි වන්නේ. විනිශ්චය සභාවක හෝ කොමිසමක හෝ කටයුතු කරන අයටත් මෙම ආදර්ශය ඉතා වැදගත්. කාරණයට අදාල පාර්ශව සමග දුරකතනයෙන් හෝ සබඳතා පැවැත්වීම ඔවුන්ට සුදුසු වන්නේ නැහැ. දැන් බැදුම්කර කතාවෙත් එහෙම දෙයක් ඇති වෙලා තිබෙනවා.

මේ වගේ චෝදනා එල්ල වූ විට එය සාධාරණීකරණය කිරීම අපහසුයි. අගමැතිවරයා පිරිසිදු නායකයෙකු බව රටේ සියළු දෙනාගේ විශ්වාසයයි. එහෙත් ඇති වී තිබෙන තත්ත්වය අගමැතිවරයාගේ නිවරද්‍යභාවය ජනමනසේ තැන්පත් කිරීමේ ප‍්‍රතිලාභය සියයට සියකින් නෙලා ගැනීමට බාධාවක් වී තිබෙනවා. එබැවින් සෑම දෙයක් පිළිබඳ අප විසින් සිදු කරන විනිශ්චයද ඉතා වැදගත්වනවා. දුරකතන කථිකාව පිළිබඳ කුමන පැහැදිලි කිරීම කළත් රටේ මිනිස්සුන්ගේ ඔළුවට ගිය දේ වෙනස් කිරීම අපහසු වී තිබෙනවා. ඇතැමුන් අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් වගකීම නිසි ලෙස හදුනා නොගැනීමෙන් ඇති වූ තත්ත්වයක් මේ. එසේනම් යම් තැනකට පත් වුනාම වැඩ කටයුතු සිදු කළ යුත්තේ කෙසේද යන්න අවබෝධ කර ගන්නේනම් මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *