අළු බඳුන ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 23වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි වන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බදුන ක්‍රිකට් තරගාවලිය බ්‍රහස්පතින්දා (23) ආරම්භ වීමට නියමිත ය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේදී ය.

මෙවර අළු බදුන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම පසුගියදා නම් කර තිබුණි. වසර 7කට ආසන්න කාලයක් ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් නොවූ ටස්මේනියානු ක්‍රීඩක Tim Paine කණ්ඩායමට ඇතුලත් කිරීම මේ වන දැඩි විවේචනයට ලක්ව තිබේ. තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් කටයුතු කල Matthew Wade කණ්ඩායමට ඇතුලත් නොවීම නිසා කඩුලු රැකීමේ වගකීමද Tim Paine හට හිමිව තිබීම සුවිශේෂී කාරණයකි.

හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයින් වන Allan Border සහ Shane Warne ද, තේරීම් කමිටුව විසින් Tim Paine කණ්ඩායමට ඇතුලත් කිරීම පසුගියදා විවේචනය කර තිබුණි.

32 හැවිරිදි Tim Paine ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු වාර්තා කර ඇති ලකුණු ප්‍රමාණය 287කි. එක් දින තරග 26කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී එක් දින ජාත්‍යන්තර ලකුණු 737ක් වාර්තා කර තිබේ .

2017 – 18 අළු බදුන ටෙස්ට් තරගාවලිය සදහා නම් කල ඕස්ට්‍රේලියානු සංචිතය –

Steve Smith ( නායක ) , David Warner (උප නායක ), Cameron Bancroft, Usman Khawaja, Peter Handscomb, Shaun Marsh, Tim Paine (කඩුලු රකින්නා ), Mitchell Starc, Pat Cummins, Nathan Lyon, Josh Hazlewood, Jackson Bird, Chadd Sayers.

මෙවර අළු බදුන තරගාවලිය ඕස්ට්‍රේලියාව තුල පැවැත්වෙන නිසා එහි වැඩි වාසි ඕස්ට්‍රේලියාවට ඇති බව ප්‍රකාශ වුවත් ගෙවී ගිය මාස කීපය තුල කණ්ඩායම් දෙකෙහි දක්ෂතා පිළිබද දත්ත සලකා බැලීමේදී මෙම තරගාවලිය පිළිබද අනාවැකි පල කිරීම ඉතා අපහසු බව විචාරක මතය වී තිබේ.

2013/14 තරග වාරය තුල එංගලන්තය ඕස්ට්‍රේලියාවේ සංචාරය කල අවස්ථාවේ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය 5-0ක් ලෙස ජයගත්තද, 2016 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා දෙරට සහභාගී වී ඇති ටෙස්ට් තරග වල ප්‍රථිපල සලකා බැලීමේදී කණ්ඩායම් දෙකම කරට කර සිටින බව සදහන් කල හැකිය.

මෙම වකවානුව තුල ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 12කට සහභාගී වී ඉන් තරග 6ක් ජයගෙන 5ක් පරාජයට පත් වී තිබේ. එංගලන්තය තරග 15කට සහභාගී වී ඉන් තරග 6ක් ජයගෙන 8ක් පරාජයට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *