මේ වසරේ ජාත්‍යන්තර තරගවලින් ශ්‍රී ලංකාවට පදක්කම් 79ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වසරේ සහභාගීවූ මුල් පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි අටකින් පදක්කම් 79ක් දිනා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත. මෙම පදක්කම් 79ට රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 39ක් හා ලෝකඩ පදක්කම් 11ක් ඇතුලත් වේ.

මෙම සියලුම ජාත්‍යන්තර ක්‍රීඩා තරග සදහා මූල්‍ය අනුග්‍රහය ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ලබාදී ඇති අතර පදක්කම් දිනාගත් පසුව ප්‍රසාද දීමනා ලබාදීමට ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

මුරුසියේ පැවැති ජාත්‍යන්තර වෙරළ කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා පිල රන් පදක්කමක් දිනාගත් අතර එය මෙතෙක් කබඩි ක්‍රීඩාවෙන් ලබාගත් හොදම ජයග්‍රහණය ලෙස සටහන් විය. බහමාස්හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හිමිවූ අතර එම පදක්කම් දෙකම පිහිනුම් ක්‍රීඩක කයිල් අඹේසිංහ හිමිකර ගත්තේය. එයද පිහිනුම් ක්‍රීඩාවෙන් මෙතෙක් ශ්‍රී ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයකි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 33ක් හා ලෝකඩ පදක්කම් 08ක් ඇතුලු පදක්කම් 62ක් හිමි විය. එයද කරාටේ ක්‍රීඩාවෙන් මෙතෙක් ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් විය.

ලන්ඩන් ක්වින්ස් එළිසබත් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවූ අතර එය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගත්තේය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි විය.

බෘනායී විවෘත ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර ටර්කිමෙනිස්තානයේ පැවැති ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් හිමි විය. චෙස්, මලල ක්‍රීඩා, ටයිකොන්ඩෝ, බර ඉසිලීම හා මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් 14ක් හා ක්‍රීඩිකාවන් 7ක් සහභාගීවුවද දිනාගත් සියලු පදක්කම් මලල ක්‍රීඩා ඉසව්වලින් පමණක් හිමි විය.

දකුණු කොරියාවේ පැවැති 51වැනි ආසියානු කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

දැනට ක්‍රියාත්මක ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හා යටිතල පහසුකම් දියුණුව අනුව 2018 වසරේදී ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවලදී මෙයට වඩා වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව පවතින බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ විශ්වාසයවී ඇත.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල 2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති ප්‍රධානතම තරගාවලි දෙක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *