තෙල් සංස්ථාවේ 2018 සාමූහික ගිවිසුම අත්සන් කරයි… තෙල් මාෆියාවට ඉඩක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –“අද තෙල් මාෆියාවක් තියෙනවා. වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ තෙල්වලින් මුදල් හම්බකරන. මම ඒවා වෙනස් කරනවා. මම මේ පුටුවෙ ඉන්නකම් ජනතාවගේ සල්ලි හොරකම් කරන්න දෙන්නේ නැහැ. එය කරන්නේ ආයතනයේ සුබසාධනය ගැන හිතල. ආයතනයට නරකක් වෙන කිසිම දෙයක් මම කරන්නේත් නැහැ. කරන්න දෙන්නේත් නැහැ. එය කරන්න මට මේ සේවකයින්ගේ සහාය අවශ්‍යයි…..” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2018 වසර සඳහා වූ සාමූහික ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

2018 වසරේ සාමූහික ගිවිසුම අද (22) අත්සන් කෙරුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්මන්ත්‍රණ ශාලාවේදීය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී එම ගිවිසුම අත්සන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින් අතර වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාත්, වෘත්තීය සමිති වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඛනිජ තෙල් පොදු සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය, ඉංජිනේරු සංගමය, සමස්ත ලංකා තෙල් කම්කරු සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය යන සංගම් නියෝජිතයිනුත් අත්සන් තැබූහ.

ශ්‍රේණි අතර වැටුප් තලයන්හි පවතින විෂමතාව ඉවත් කිරීම, ඉදිරි වර්ෂය සඳහා වැටුප් වැඩී කිරීම, විධායක දීමනාව සහ සේවා මුර දීමනාව වැටුප් වැඩිවීමේ ප්‍රතිශතයට සමානුපාතිකව වැඩි කිරීම යන කරුණු තුනට මෙම ගිවිසුම යටතේ මූලික එකඟතාව පළ කෙරිණ. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ සේවක සුභසාධනය කෙරෙහි මීට වඩා වැඩි අවධානය යොමු කළ යුතු බවය.

“මම අමාත්‍යවරයා ලෙස ඉන්නා විට මේ ආයතන විකුණන්න දෙන්න බැහැ. මගේ ප්‍රතිපත්තිය තමයි රජයේ දේපළ ආරක්ෂා කරන එක. නමුත් අපිට එය නිකම් කරන්න බැහැ. අපි අපේ ආයතන පාඩු අඩු කරගෙන ඉහළ තත්ත්වයකට ගෙන ආ යුතුයි. රටක් හැටියට මේ ආයතන ලාභ ලබන ආයතන ලෙස පත්කරනවාද නැත්නම් මහජන සේවා ආයතන ලෙස දියුණු කර පාඩුව අවම කරගැනීමට කටයුතු කරනවාද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. දැන් වරාය වගේ ආයතනවලට මුදල් සොයන්න පුළුවන්. නමුත් තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය වගේ ආයතනවලට ලාභ ලබන්න අපහසුයි. අපි ලාභය ලෙස දැකිය යුත්තේ මහජනතාවට වන සේවය. ඒ වගේම හුඟ දෙනෙක් දන්නේ නෑ මේ සේවකයින් විඳින දුක. බොහෝ අය තෙල් දහනය වීමේ දුම නිසා පිළිකා වැනි රෝගවලට ගොදුරු වනවා. අපි එයත් අමතක කරන්න හොඳ නැහැ.

අපි නිලධාරින් හැටියට මහන්සි වෙමු. පුලුවන් විදිහට මේක හදල දෙමු. හදල දීල අපි මේ මිනිසුන්ව පරිස්සම් කරමු….” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී “ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉතිහාසය තුළ ඉතාමත් සාමකාමීව, ඉතාමත් සුහදව සාමූහික ගිවිසුම අත්සන් කළ පළමු අවස්ථාව ලෙස මෙය දක්වන්න පුළුවන්. ඒ සුහද වටපිටාව ඇති වුණේ වෙන කවුරුත් නිසා නොවෙයි, අද මෙතැන ඉන්න අර්ජුන රණතුංග ඇමැතිතුමා නිසා. එතුමා නිසා මෙතෙක් කල් ආයතනයේ මුල්බැස තිබූ ප්‍රශ්න රාශියක් විසඳා ගැනීමට අපට හැකිවුණා…” යනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පැවසීය.

සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතාද පැවසුවේ ගැටළුවකින් තොරව සාමූහික ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙය වන බවත් ඒ සම්බන්ධයෙන් ඇමතිතුමා ඇතුළුව සංස්ථාවේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයාට තම ස්තුතිය පිරිනමන බවත්ය. වරාය ඇමැතිවරයා ලෙස අර්ජුන රණතුංග අමාත්‍යතුමා වරාය සේවකයින්ට ඉහළ වැටුප් තලයක් ලබා දුන්නා සේම තෙල් සංස්ථාවේ සේවකයින්ටද ඉහළ වැටුප් තලයක් ලබා දීමට මඟ පෙන්වීම ගැන සැබවින්ම අගය කරන බව සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජයන්ත පරේගම මහතා පැවසීය. තම සංගමය දේශපාලන අධිකාරියට ප්‍රශස්ති ගායනා නොකළත් මෙම අවස්ථාවේදී එයින් ඉවත්ව සියලු දෙනා අගයන කරන බව සංස්ථාවේ පොදු සේවක සංගමයේ ලේකම් ඩී. ජේ. රාජකරණා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *