මේ වසරේ විදෙස් ශ්‍රමිකයින් 115ක් වෙනුවෙන් හිඟ වැටුප් කෝටි 5ක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා සඳහා යොමුවී නිසි පරිදි වැටුප් නොලද ශ්‍රමිකයින් 115 දෙනෙකු වෙනුවෙන් 2017 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ හිඟ වැටුප් ලෙස රු.51,640,563.00ක (පන්කෝටි දහසය ලක්ෂ හතලිස් දහස් පන්සිය හැටතුන) මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ලබාදීමට හැකිවූ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි. 

වසර ගණනාවක් කිසිඳු තොරතුරක් නොමැතිව විදේශ රටවල සිරවී සිටි කාන්තාවන් රැසක් දිවයිනට ගෙන්වාගැනීමට පසුගිය සමයේ කාර්යාංශයට හැකිවූ බවත්, ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහිව තානාපති කාර්යාල මගින් නඩු පවරන ලද අතර, එම කාන්තාවන්ට ලැබිය යුතු සියළු හිඟ වැටුප් හා අදාළ වන්දි මුදල්ද ඒ අනුව ලබාගත හැකිවු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වසර 17ක් සෞදියේ සිරවී සිටි කේ.ජී.කුසුමාවතී මහත්මිය දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඇයට හිමි හිඟවැටුප ලෙස රුපියල් ලක්ෂ 36 ක මුදලක් 2017.11.16 දින ලබාදීම එවැනි එක් සිදුවීමකි. එසේම වසර 5ක් වැටුප් රහිතව සෞදියේ සේවය කළ මාරිමුත්තු රාජමලර් මෙනෙවියට හි`ග වැටුප් ලෙස රු. 1,527,933.75 ක මුදලක් 2017.10.27 වන දින ලබාදෙන ලදී.

2016 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් 51 දෙනෙකු සඳහා රු.24,834,526.84ක් (දෙකෝටි හතලිස් අට ලක්ෂ තිස් හතර දහස් පන්සිය විසි හයයි ශත අසූ හතරක්) හිඟ වැටුප් වශයෙන් ලබාදෙන ලදී. 2015 වසරේ විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මෙසේ විදේශ රටවල අසරණවී සිටි කාන්තාවන් රැසක් දිවයිනට ගෙන්වා ගත හැකිවුණි. එසේම ඔවුන්ට ලැබිය යුතු සියළු හිඟ වැටුප්ද ලබාදීමට හැකියාව ලැබුණි.

එසේම 2017 වසරේ විදේශ රැකියාව අතරතුරදී විවිධ කරදර සිදුවූ ශ්‍රමිකයින් 113 දෙනෙකු වෙනුවෙන් රු.22,900,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල මගින් ලබාදී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ශ්‍රමිකයින් පිළිබඳව රජයට වගකීමක් ඇති අතර කාර්යාංශය මගින් ලබාදෙන සියළු සහන හා පහසුකම් සඳහා ඔවුන්ට හිමිකමක් ඇත. සේවා ස්ථානවල යම් කරදරයක් ඇතිවුවහොත් කඩිනමින් තානාපති කාර්යාල හරහා කි්‍රයාත්මක වී ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 14 =