සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා ප්‍රාදේශීය සභා හයක ඡන්ද දායකයින් හය දෙනෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයකට අදාළව ඡන්ද කොට්ඨාස සීමා නීර්ණය කිරීම හා සභිකයින් සංඛ්‍යාව ඇතුළත්ව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මස 04 වනදා තෙක් බලපැවැත්වෙනු ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල් දෙහිදෙණිය මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි.

සීමා නීර්ණ කමිටුවේ නිර්දේශ ඉක්මවා දෙවන කමිටු වාර්තාවේ නිර්දේශ ඇතුළත් කොට ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා බලය ඉක්මවා කටයුතු කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කළා.

මෙම ගැසට් පත්‍රයට අනුව ඡන්දය පැවැත්වුවහොත් ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතීන් උල්ලංඝනය විය හැකි බවට ද අභියාචනාධිකරණය තීරණය කළේය. අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය පෙබරවාරි දාහත් වනදාය.

කෙසේ වෙතත් මෙම පෙත්සමට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ පැෆ්රල් සංවිධානය මැදිහත් වීමට අවසර ඉල්ලා සිටියේය. ඔවුන්ගේ කරුණු සලකා බැලීම මීළඟ දින සිදුකිරීමට නියමිතය. ඒ සඳහා අද(22) දින වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කෙරුණි. අදාළ විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන ලෙස නීතිපතිවරයා ඇතුළු පාර්ශ්වවලට අවසර ලබාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =