අපරාධ මැඩලීම වෙනුවෙන් රහස්‍ය තොරතුරු හුවමාරුවට කලාපීය මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ විමර්ශන තොරතුරු හුවමාරුකර ගැනීමේ දකුණු ආසියානු කලාපීය ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින්ගේ පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) කොළඹ දී පැවැත්විණි.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශී‍්‍ර ලංකාව යන දකුණු ආසියානු කලාපයේ රටවල් 06 ක විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල මගින් සංවිධානය කර තිබේ.

මෙම රැස්වීම ඇමතූ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ අපරාධ විමර්ශන නිලධාරින්ගේ සේවය සමාජයේ අත්‍යාවශ්‍යම සේවාවක් වන අතර, එය සාධාරණත්වය උදෙසා මෙන්ම අපරාධ, අල්ලස් හා දුෂණ මැඩලීම සඳහා අතිශයින්ම වැදගත් සේවාවක් බවයි.

එම නිලධාරින්ගේ සේවා අභියෝගයන් හා දුෂ්කරතා වඩාත් ප‍්‍රබල වන්නේ රාජ්‍ය පෙරළියක් සිදුවු පසු අල්ලස් හෝ දූෂණ විභාග කිරීමේදී විවිධ ප‍්‍රබල අංශවලින් බලපෑම් එල්ලවීම හේතුවෙන් බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම දෙදින සාකච්ඡා වටයේදී දකුණු ආසියානු රටවල් හරහා සිදුවන සංවිධානාත්මක අපරාධ හා හොර ජාවාරම් මැඩලීම සඳහා රහස්‍ය තොරතුරු හුවමාරුව පහසුකිරීමට කලාපීය මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස්කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, නීතිපති ජයන්ත ජයසූරිය, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවාරච්චි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *