නව රැකියා බිහිකිරීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි අපනයනය ඉහළ නැංවීම සහ අපනයන ආදායම 2020 වසර වන විට දෙගුණ කිරීමට අගය දාම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘති යටතේ කෘෂි අධිකලාප 23ක් සහ තාක්ෂණ කලාප 10ක් ආරම්භ කර නව රැකියා උත්පාදනයට මඟ සකස් කරන බවත් රැකියා දසලක්ෂයක් බිහිකිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයට සමගාමිව මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන බවත් පසුගියදා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික විද්‍යා පදනම හා එක්ව කුරුඳු හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනයන්හි පර්යේෂණ සඳහා තෝරා ගන්නා ලද විශ්වවිද්‍යාල පහක් සමඟින් ව්‍යාපෘති පහක් ආරම්භ කර ඇති බවත් එමඟින් ඩොලර් මිලියන 500ක අපනයන ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙරටේ ගම්මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු වන අතර ගම්මිරිස් පැළ දහස් ගණනක් බෙදා හැරීමට කටයුතු කරන බවත් දිවයින පුරා අක්කර 25,000 ක අන්නාසි වගාවක්ද ඒ සඳහා වගාකරුවන්ට හා තවාන්කරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ආයෝජන ආධාර ලබා දීම ආරම්භ කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව දිරිය කාන්තාවන් දසලක්ෂයකගේ ගෙවතු තුළ භෝග වගාකිරීමේ ව්‍යාපෘතිය තුළ කුරුඳු ගම්මිරිස්වලට අමතරව ටොම් ඊජේසී (Tom EJC) අඹ පැල ලක්ෂ 25ක් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත් පැපොල් වගාව වැඩිකරන බවත් පැවසු අමාත්‍යවරයා දැනට ආරම්භ කර ඇති මී පැණි ආශ්‍රිත නිෂ්පාදකයන් අතර වගාකරුවන් අතර මී මැසි පෙට්ටි 10,000ක් ද ආම්පන්න 4,000ක් ද සපයා එමඟින් මී පැණි ටොන් 60 ක් සහ ඩොලර් මිලියන 100ක අපනයනය ආදායමක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

එමෙන්ම ධීවරයන් සඳහා ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් වගා කොටු 100ක් ලබා දී මෙම ව්‍යාපෘතිය මඟින් අපනයන ආදායම ඩොලර් මිලියන 1,500ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීම උදෙසා පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වැව් 08ක් සඳහා මත්ස්‍ය පැටව් මුදා හැරීම සහ ධීවර උපකරණ ලබා දි ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඌව පළාත් සංවර්ධන වැඩසටහන යටතේ බිඳුණු වැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතන සංවර්ධන ව්‍යාපෘතිය හා බොරලන්ද සත්ත්ව ගොවිපළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩසටහන් වැඩිදියුණු කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

එළවළු පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බන්දුල වික්‍රමාරච්චි, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හීන්කෙන්ද ඇතුළු මහත්වරුන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *