ජනපති අද කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ කොරියා ජනරජය අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) කොරියාව බලා පිටත්ව යයි.

කොරියා ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය චාරිකාවක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එළඹෙන 30වනදා තෙක් එරට රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව හා කොරියා ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් ස්ථාපනය කිරීමෙහි 40 වැනි සංවත්සරයට සමගාමී ව සිදුවන්නක් වන අතර කොරියා ජනාධිපති මුන් සහ ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේන මහත්වරුන් අතර සමුළු සාකච්ඡාවක් සඳහා මේ මස 29 වැනිදා හමුවීමට නියමිත බවද පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහා රාජ්‍යතාන්ත්‍රික භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා කොරියා ජනරජය අතර සහයෝගීතාව වඩාත් පුළුල් කර ගැනීම සඳහා දෙරටේ රාජ්‍ය නායකයන් අ‍න්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරය අතරතුර, රජයන් දෙක අතර ආර්ථික සහයෝගීතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හා සංස්කෘතික සහයෝගීතාව හා සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන්ම ආයෝජන සහායෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි. තවද, ප්‍රධාන පෙළේ කොරියා ව්‍යාපාරික සංගම් හතරක සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික දිවා භෝජන සංග්‍රහයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිත අතර එරට වෙසෙන ශ්‍රී ලාංකීක ප්‍රජාව ද හමුවීමට අපේක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *