“ලයිට්කෝස්” ක්‍රමයට මාළු ඇල්ලීම තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –”ලයිට්කෝස්ධී” ධීවරපන්න ක්‍රමය වහාම නතර කිරීමට පියවර ගන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙම පන්න ක්‍රමය මගින් අප රටේ මත්ස්‍ය සම්පත විනාශ වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වන විට නැගෙනහිර මුහුදු තීරයේ හා දකුණු මුහුදු තීරයේ ධීවරයින් විසින් බහුල වශයෙන් ලයිට් කෝස් පන්න ක්‍රමය මත්ස්‍ය සම්පත නෙලා ගැනීමට භාවිත කරනු ලැබේ. විශේෂයෙන් ධීවරයින් විසින් අලගොඩු කෝස් යනුවෙන් හඳුන්වන මෙම ක්‍රමය රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කරන අතර, අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි බුබුලක් මුහුදට බස්සවනු ඇත. එවිට මසුන් රංචු පිටින් ආලෝකය තිබෙන ස්ථානයට එක් රැස් වන අතර සියළු මසුන් අල්ලා ගැනීම සඳහා ඩයිනමයිට් හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය මෙන්ම මඩියක් භාවිතා කරනු ලැබේ.

මෙමගින් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත බරපතල ලෙස විනාශ වන බව, නාරා ආයතනය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එමෙන්ම එමගින් කුඩා මසුන් රංචු පිටින් විනාශ වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ජාවේ දී ධීවර ප්‍රජාව පෙන්වා දුන්නේ නීති විරෝධී මෙම පන්න ක්‍රමය නිසා දිනෙන්දිනම සුළුපන්න ධීවරයින් විසින් නෙලා ගන්නා මත්ස්‍ය සම්පත අවම වෙමින් පවතින බවය.
කෙසේ වුවද, මෙම පන්න ක්‍රමය තහනම් කිරීමේ ගැසට් නිවේදනය වහාම පළ කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

මෙම පන්න ක්‍රමය ක්‍රියාත්මක කරන ධීවරයින් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට උපදෙස් දෙනු ලැබීය.

මීට අමතරව පොකිරිස්සන් නෙලා ගැනීමේ දී සෑම වසරකටම මාස තුනක් ඔවුන් ඇල්ලීම තහනම් කර තිබේ. එයට හේතුව පොකිරිස්සන්ගේ භීජෞෂන සමය පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලට යෙදී තිබීමයි.
නමුත්, මේ වන විට ඔවුන්ගේ එම කාලය වෙනස්වීමක් දක්නට ලැබෙන බැවින් එය මාස 4 දක්වා දීර්ඝ කර ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *