ගෝඨාභයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 06වනදා දක්වා තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී.දෙහිදෙනිය හා ශිරාණි ගුණරත්න යන විනිසුරු මඩුල්ල මගින් මෙම නියෝගය ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරුවරු සූදානම් වූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම පිළිබඳව තමන් දැනගත්තේ ඊයේ සවස ජනමාධ්‍යවලින් යැයි, සඳහන් කළ අතර තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර තමන් ඉදිරිපත් කරන කරුණුවලට ද සවන් දෙන මෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එම ඉල්ලීම ඉවත දැමූ අභියාචනාධිකරණ විනිසුරු අදාළ තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම විභාගය දෙසැම්බර් මස 6 වැනිදා පවත්වන බව නියෝග කරන ලදි. එදින මෙම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා තමන් විරෝධතා ඉදිරිපත් කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේය.

පෙත්සම ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී තමන් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම පනත යටතේ සහතිකයක් ගොනුකර ඇති බවය. එම සහතිකය ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *