සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිවීමක් – ඇමති අර්ජුන

(කොළඹ, ලංකාපුවත්) – සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට යම් අයෙක් උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිව යන්නක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේබව පැවසුවේ අද (29) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමිනි.

“රටේ නීතියට කාටවත් අතට ගහන්න බැහැ. රටේ නීතියක් තියෙනවා, රටේ නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ජනාධිපතිතුමාටත් එකයි. අගමැතිතුමාටත් එකයි. රාජපක්ෂ මහත්තයටත් එකයි. කාටහරි ඕනෙනම්, වරදක් කළ අයකුට දඬුවම දුන්නට පස්සේ ඒකෙන් නිදහස් කරන්න, ඒක පුළුවන් රටේ නායකයා විදියට ජනාධිපතිතුමාට. මම ලෝක කුසලානය දින්නා කියලා මම වරදක් කළාම කාටහරි ඒක වහලා තියන්න පුළුවන්ද ? අපිට දඬුවම දෙන්න ඕන. අපි මොන සේවය කළත් අපේ අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට දඬුවමක් හම්බ වෙන්න ඕන, ඒ දඬුවම කොයි විදියකටද ක්‍රියාත්මක කරන්න ඕන කියන එක ගැන රටේ නායකයා ලෙස ජනාධිපතිතුමාට ඕන වෙලාවක තීරණයක් ගන්න පුළුවන්. ඒක මම දකින දෙයක්. මම කියන්නේ නැහැ රාජපක්ෂවරුන්ව ඇතුළට දාන්න ඕන කියලා. මම කියන්නේ නැහැ, වෙන කෙනෙක්ව ඇතුළට දාන්න ඕන කියලා. හැබැයි වැරදිකරපු මොන පුද්ගලයාද ඒ පුද්ගලයා දැන ගන්න ඕන නීතිය කියන එක හැමෝටම එකයි කියන එක. හැබැයි සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවටත් ඒක තේරෙන්නේ නැහැ….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට යම් අයෙක් උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිව යන්නක් බවයි.

“මේ රටේ ජනතාව මේ නායකයින් දෙදෙනාට බලයක් දුන්නේ එකට ගමනක් යන්න. ඉතිං එහි වෙනසක් කරනවා නම් ඒක ‍රටේ ජනතාවට කරන ලොකු ප්‍රහාරයක්. ඒ ගැන එතුමන්ලා තීරණයක් ගත යුතුයි. මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දේශපාලනය උගන්වන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. නමුත් මේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාව වුණේ දෙදෙනාම එකට එක්ව රට පාලනය කිරීම. නැත්නම් රටේ මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් ජනවරම දෙන්න තිබුණා ‍ආණ්ඩුවක් හදන්න. නැත්නම් යූ. එන්. පී. එකට විතරක් දෙන්න තිබුණා. ඒ‍ දෙකටම දෙන්නේ නැතිව හිර කළේ දෙගොල්ලම එකට එක්ව ඉදිරියට යන්න කියලා. ඒක සෝභිත ස්වාමීන්වහන්සේත් අපත්වීමට ‍කලින් කිව්වා. ඉතිං මම හිතනවා එය අපි ඉදිරියට ගෙන යාතුයි කියලා. මොකද ඒ ක්‍රමයෙන් අපිට ගොඩාක් ප්‍රශ්න අද වන විට විසඳා ගන්න පුළුවන් වෙලා තියෙනවා

අද යහපාලනය කියන එක තාමත් මේ රටට හුරු නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සමහරවිට මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නම් මේ ප්‍රශ්න මොනවහරි කරලා පාගලා දාලා ඉවර කරනවා. නමුත් අපේ නායකයෝ දෙන්නම එහෙම කරන්න දෙන්නේ නැහැ. ඉතිං මම හිතනවා යහපාලනය වීම නිසාම රට ගෙනියන්න හරි අමාරුයි කියලා. බැහැයි අපි හරි දේ කරනවා. විශේෂයෙන්ම බැඳුම්කරයේදී අගමැතිතුමාගෙනුත් ප්‍රශ්න කළා. එය තමයි අපි කළ යුත්තේ. අපි පසුගිය කාලේ දැක්කා ඇමැතිවරුන්ව බේරපු හැටි. නමුත් අද එහෙම නෑ. අද අපේ හුඟාක් ඇමතිවරු වැරද්දක් කරන්න බයයි. කාගෙන්වත් සමාව හම්බ වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ‍ හොඳ ආදර්ශයක්. ඒක ඉස්සරටත් කළ යුතුයි. අපිට බලය දුන්නේ ඒක කරන්න. ඒක නොකරවානම් අපිත් මේ ආණ්ඩුවේ ඉන්න ඕනද කියන එකත් අපි තීරණය කරන්න ඕන. මම තාම කල කිරිලා ඉන්නේ. පහුගිය කාලේ අපි කිව්වා දූෂිත පුද්ගලයෝ ඉන්නවා. වැරදි කරපු අය ඉන්නවා. ඒවට හරි තීරණ ගන්න කියලා. ඒවා නොකිරීම ගැන මම කලකිරිලා ඉන්නේ. නමුත් ආණ්ඩුව එකට තියාගෙන යන වැඩපිළිවෙලේ මම ඉන්නවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *