දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – සති 3ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි ගල්ගමුව දළ පූට්ටුවා නමැති හස්ථියාගේ සිරුර ඊයේ(29) සොයාගනු ලැබීය.

කහල්ල පල්ලේකැළේ රක්‍ෂිතයට අයත් සොරොව් වැව ආසන්න‍ ප්‍රදේශයේදී මෙම සිරුර සොයාගෙන ඇත.දළ පූට්ටුවා නමින් හැඳින්වෙන මෙම හස්ථියා මෙරට සිටින දළ පූට්ටු හස්ථීන් හතර දෙනාගෙන් එක් හස්ථියෙකි.

මෙම සත්ත්වයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බවයි සැලකෙන්නේ.

පසුගියදා වලාන දූෂණ මර්දන ඒකකයට ඇත් දළ යුගළක් හමුවීමත් සමග එය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැකයක් මතුවිය. ඒ ඔස්සේ කළ විමර්ශනවලදීයි මෙම හස්ථියා අතුරුදන්වී ඇති බව තහවුරු කර ගත්තේය.

මේ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර දළ පූට්ටුවා සෙවීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 8කට අයත් නිලධාරීන් සිය දෙනෙකු පමණ යොදවා තිබුණි. වනජීවී නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක බලකාය , පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව එම කටයුතු ක්‍රියාත්මක කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දළ පූට්ටුවාගේ දකුණු පාදයේ තිබූ තුවාලයක් හා හිස්කබල තුළ ඇත් දළ ගැලවූ බවට තිබූ සලකුණු ද සැලකිල්ලට ගනිමින් එම සිරුර දළ පූට්ටුවාගේම බවට වනජීවී නිලධාරීන් තහවුරු කර ගනු ලැබීය.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියාසිටියේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =