වත්මන් රජය අරඹන සංවර්ධන යුගය ගැන අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – දියුණු ආර්ථීක සංවර්ධනයේ තුන්වන යුගය ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

අම්පාර නව නගර ශාලාවට සහ කෞතුකාගාරයට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. අම්පාර නගර මධ්‍යයේ ඉදිකළ නව වෙළෙද සංකීර්ණය ද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතිනි.

අම්පාර නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ විවෘත කළ අග්‍රාමාත්‍යවරයා බස්නැවතුම්පොළේ ඉහළ මහළේ ඉදිකරන ලද ආපනශාලාව ද විවෘත කළේය. එහි අලෙවි කෙරෙන ආහාර පිළිබදව ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

අම්පාර නව බස් නැවතුම්පල සංකීර්ණය සහ වෙළෙඳ සංකීර්ණය ඉදිකෙරුණු ව්‍යාපෘතියේ ආයෝජනය රුපියල් මිලියන 286කි. මෙම බස් නැවතුම්පල මගින් දිනකට බස් ගමන් වාර 200ක් පමණ සිදුවේ. ඒ අනුව මෙම ස්ථානයට දෛනිකව පන්දහසකට අධික පිරිසක් පැමිණෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් වසර ගණනාවක් අබලන්ව පැවති අම්පාර බස් නැවතුම්පල මෙරට සුපිරිම බස් නැවතුම්පලක් බවට පත්කර අද(01) ජනතා අයිතියට පවරා දෙන ලදි. මෙම උත්සවය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය විසින් සංවිධාන කර තිබුණි.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ මහවැලියෙන් පසුව සිදු කෙරුණු විශාලගම සංවර්ධනය වත්මන් රජය සිදුකරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.,

” මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට ගෙන එන විශාලම සංවර්ධනය ඇති කරන්නේ අපගේ ජාතික ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. අප රටට නිදහස ලබා ගැනීමට පෙර අම්පාර ප්‍රදේශය පැවතුණේ වනාන්තරයක් ලෙසයි. නමුත් මේ ප්‍රදේශය සංවර්ධනය කළ හැකි ප්‍රදේශයක් බව ඩී.එස්. සේනානායක මැතිතුමා අවබෝධ කර ගත්තා. ඒ අනුව ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට එතුමා කටයුතු කළා.

ගල්ඔය ව්‍යාපාරය සඳහා අප යෙදවූයේ අප රටේම මුදල් බව කිව යුතුයි. එම ව්‍යාපාරයට යෙදවූ මුදල්වලින් ඉතිරි වූ ප්‍රමාණය ණය මුදලක් වශයෙන් එංගලන්තයට ලබා දුන්නා. යුද්ධයෙන් පසුව එංගලන්තයට මුදල් අවශ්‍යතාවයක් ඇති වී තිබූ අතර ගල්ඔය ව්‍යාපාරයෙන් ඉතිරි වූ මුදල් ලබා දුන්නේ ඒ අනුවයි. ඒ වගේම ගල්ඔය ව්‍යාපාරය සාර්ථකව නිම කිරීමටත් අපට හැකි වුණා. එකල ශ්‍රී ලංකාව එවැනි දියුණු මට්ටමක පැවතුණා.

ගල්ඔය ව්‍යාපාරය හරහා අම්පාර ප්‍රදේශය දියුණුවට පත්වූ අතර මහවැලි ව්‍යාපාරයෙන් අම්පාරට වඩා වැඩි සංවර්ධනයක් ඇති වුණා. මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මැතිතුමා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙන ආවා. අපේ ප්‍රදේශවලින් ද ජනතාව පැමිණ මෙහි පදිංචි වුණා. අද අම්පාර – කල්මුණේ ආදී ප්‍රදේශවලට ලැබී තිබෙන්නේ එදා ගොඩනැගූ ආර්ථිකයේ වාසියයි.

මේ ප්‍රදේශයේ තවමත් පවතින්නේ කෘෂි ආර්ථිකයක් බව කිව යුතුයි. වර්තමානයේ අප ගෙන එන සංවර්ධනය හරහා අම්පාර ප්‍රදේශයේ මිශ්‍ර ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. සේවා අංශයෙන්, වෙනත් කෘෂි භෝග, පශු සම්පත් අංශවලින් එම සංවර්ධනය ඇති කරමින් අම්පාර ප්‍රදේශය දියුණු කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ කටයුතු කරමින් සිටිනවා.

මෙම සංවර්ධන කටයුතු මීට වසර දෙකකට පෙර ආරම්භ නොකළේ ඇයිදැයි සුළු පිරිසක් අපෙන් ප්‍රශ්න කරනවා. නමුත් එදා අප බාරගත්තේ කුමන ආකාරයේ රටක් ද? අප මේ රට බාර ගන්නා විට විශාල ණය බරක සිරවී තිබුණා. ඊයේ දින මා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ආකාරයට කිසිඳු අනුමැතියකින් තොරව පැවැති පාලනය විසින් රුපියල් බිලියන 4000 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. අඩුම වශයෙන් එම ණය ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හෝ ලබා ගෙන නැහැ. ලබාගත් රුපියල් බිලියන 4000 ණය මුදල සඳහා පොලී මුදල් වශයෙන් පමණක් රුපියල් බිලියන 3000 ක් ගෙවීමට සිදුවෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් ගෙවීමට තිබෙන මුදල රුපියල් බිලියන 7000 ක් වනවා.

පැවැති පාලනයට මුදල් නොමැති වීම නිසා මෙසේ විශාල වශයෙන් ණය මුදල් ලබා ගත් අතර එම ණය පියවීමටත් ඔවුන්ට නැවත ණය ලබා ගැනීමට සිදු වුණා. එය බංකොළොත් වූ මූල්‍ය ආයතනවල පිරමීඩ ක්‍රමයට සමාන ක්‍රමයක් වුණා. මේ සියලූ ණය මුදල් ගෙවා අවසන් කිරීමට නම් අඩුම වශයෙන් රුපියල් බිලියන 10,000 ත් 12,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඒ වගේම මීට අමතරව පැවැති පාලනය විසින් ලබාගත් විදේශ ණය ගෙවීමටත් අපට සිදුව තිබෙනවා. මෙවැනි ණය කන්දක සිර වූ රටක් බාරගත් විට ජාතික ආණ්ඩුවක් ඇති කර නොගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි මා ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තවත් පක්‍ෂ කිහිපයක් ඒකරාශී කර ගෙන ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අප කටයුතු කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කර නොගත්තා නම් 2016 වසර වන විට ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

එම ණය මුදල් ගෙවීම සිදු කරන අතරම 2015 වසරේ දී ජනතාවට සහන ලබා දෙමින් ඉන්ධන මිල පහත දැමීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත්, සෑම ගමකටම සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වෙන් කිරීමටත් අප කටයුතු කළා. විශාල ණය මුදලක් ගෙවන අතරතුර මෙවැනි සහන රාශියක් අප ජනතාවට ලබා දුන්නා නම් ආණ්ඩුවකින් මීටත් වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ?

අම්පාර ප්‍රදේශය දියුණු කිරීමේ වගකීමෙන් කිසි විටෙක අප බැහැර වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට උදාවන දැවැන්තම දියුණුව අපේ රජය යටතේ ආරම්භ කර තිබෙන බව මම ඔබට කියන්න කැමතියි.”

අමාත්‍ය දයා ගමගේ, පී හැරිසන් මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට උපකරණ ලබාදීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් විහාරස්ථාන හා පාසල් සඳහා කෘෂි ආර්ථික භෝග ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා. මී මැසි පාලනය සිදුකරන සිය දෙනෙකුට පුහුණුවීම් ආධාර ලබාදීම මෙන්ම මිරිදිය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන් දෙසිය දෙනෙකු සඳහා ආම්පන්න සහ ධීවර බෝට්ටු ලබාදීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *