ගංවතුරින් නිවාස කැඩුණු පවුල් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් මැයි මාසයේ දී නිවාස හානි වූ පවුල් සඳහා රුපියල් 200,000 බැගින් වූ චෙක්පත් ප්‍රධානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පසුගිය සෙනසුරාදා (02) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි

ගිං ගඟ ආසන්නයේ පදිංචිව සිටි පවුල් 15ක් සඳහා මෙලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් පිරිනැමිණි. නෙළුව, නාගොඩ හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිව සිටි එම පවුල් සඳහා නාකියාදෙණියේ අලුත්වත්තේ ඉඩම් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා පවසයි.

මෙම චෙක්පත් ප්‍රදානය කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.

”අපි අද දුන් මුදල රුපියල් ලක්ෂ දෙක බැගින් වුවත් තවත් රුපියල් ලක්ෂ 10ක් ඔබ සියලු දෙනාට වාරික වශයෙන්  අවස්ථා පහක දී ලබාදීමට නියමිතයි. ගඟ අසළ පදිංචිව සිටීමෙන් නිතර නිතර මෙවැනි විපත්වලට ලක්වන නිසා තමයි ඔබ වෙනුවෙන් අපි රජයක් ලෙස මේ වගේ තීරණයක් අරගෙන ක්‍රියාත්මක කළේ. දැන් සුරක්ෂිත ස්ථානයක ඔබට නිවස සාදා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉන් පසු අපි ඔබේ ජීවන වෘත්තිය ගැනත් දරුවන්ගේ අනාගතය ගැනත් රජයක් ලෙස සොයා බලා අවශ්‍ය පහසුකම් සපයන්නම්. “

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රජය හැකි සහයෝගය උපරිමයෙන් ම ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *