තම ආගම සහ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට හැකි සමාජයක් නිර්මාණය කළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – තම ආගම සහ තම සංස්කෘතිය සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට හැකි සමාජයක් අප නිර්මාණය කළ යුතු බවත් වෙහෙර විහාරස්ථාන සඳහා ආධාර උපකාර ලබාදීමේ මෙම වැඩසටහන අප ආරම්භ කළේ ඒ අනුව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එමෙන්ම අප මේ රට තුළ ඒකීය භාවය ආරක්ෂා කරමින් බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින්, අනෙක් කිසිඳු ආගමකට බාධාවක් නොවන ලෙස කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පැවැති වෙහෙර විහාරස්ථාන 850 ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ “සසුනෝදය” වැඩසටහන සඳහා සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික සිද්ධස්ථාන 850 කට ආධාර කිරීම සිදු කරන බවත් මේ වසර අවසන් වන විට බෞද්ධාගමික සිද්ධස්ථාන දහසකට ආධාර කිරීමේ වැඩසටහන සම්පූර්ණ කරන බවත් පැවසු අග්‍රාමාත්‍යවරයා මෙම ආධාර උපකාර ශ්‍රී ලංකාවේ සියලුම වෙහෙර විහාර ආවරණය වන පරිදි ලබාදීමට කටයුතු කරන බවත් පැවැසීය.

අතීතයේ විහාරස්ථානයක් පවත්වාගෙන යාමට විශාල ලෙස මුදල් වියදම් නොවූවත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී තිබෙන අතර විදුලි බිල්, ජංගම දුරකථන බිල් ආදී වියදම් දැරීමට ද අද විහාරස්ථානවලට සිදු වී තිබෙන බවත් ගමේ පන්සලේ විහාරස්ථානය වෙනුවෙන් පවා අධික මුදලක් වැය කිරීමට සිදු වන අතර එම ගැටළුවලට විසඳුම් ලබාදෙමින් විහාරස්ථාන වෙත ආධාර කිරීම සිදුකරන බවත් ඒ වෙනුවෙන් විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට මගේ ස්තූතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ”ථෙරවාදී බුද්ධ ධර්මයේ ආරම්භය මහා විහාරයයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය සහ දකුණු වියට්නාමය ආදී රටවල්වල කෝටි 15 කට ආසන්න ජනතාවගේ ථෙරවාදී බුද්ධ ධර්මයේ ආරම්භය මහා විහාරයයි. එම නිසා මහා විහාරයේ සංවර්ධන වැඩකටයුතු සිදු කරන අතරතුර ලෝවාමහාපාය වැඩකටයුතු ආරම්භ කිරීමට ද අප සූදානම්.”

”ආණ්ඩුවක් ලෙස අපේ අවධානය යොමු වන්නේ බුදු දහම ආරක්ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමටයි. ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබඳ සියලූ කරුණු කාරණා අවබෝධ කර ගැනීමට සිදු වන්නේ මහා විහාරය හරහායි. වර්තමානයේ මහා විහාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ නිසි අවබෝධයක් දන්නේ නැහැ. අතීතයේ දුටුගැමුණු රජතුමාට රට එක්සේසත් කිරීමට අවශ්‍ය අනුබලය සහ අනුශාසනා ලබාදුන්නේ මහා විහාරික භික්ෂුන් වහන්සේලායි. එකළ රජවරුන් ධනපතියන් සහ විවිධ පාලකයන් බෞද්ධ වෙහෙර විහාරවලට ආධාර උපකාර කළේ මහා විහාරය ආරම්භ කිරීමෙන් පසුවයි. එදා සිට එවැනි සංස්කෘතියක් රටේ ආරම්භ වුණා. නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන සමයේදී බෞද්ධ වෙහෙර විහාරවලට ආධාර කිරීමක් සිදු වුණේ නැහැ. එකළ බෞද්ධාගමික සිද්ධස්ථාන වෙත ආධාර උපකාර කළේ ගිහි පාර්ශවය විසිනුයි. ඔවුන් වෙළහෙළදාම් වලින් ලබා ගන්නා ධනය පරිත්‍යාග කිරීමෙන් සහ තම ඉඩකඩම් වෙහෙර විහාර වෙත පූජා කරමින් ආධාර උපකාර කිරීම් සිදු කළා.”

එමෙන්ම ජනාධිපතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මගේ අරමුදල් යටතේ විහාරස්ථානවල අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කර ගෙන යන වැඩකටයුතුත් අප ඉදිරියට ගෙන යා යුතු බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ගෞරවණීය මහා සංඝරත්නයේ සහයෝගය අපට ලැබේවී යැයි මා බලාපොරොත්තු වන බවත් අවසාන වශයෙන් මහා සංඝ රත්නය ඇතුළු ගෞරවණීය සංඝ රත්නයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *