ආයෝජනයට අපේ රට සුදුසු බවට ජාත්‍යන්තර පිළිගැනීම සුවිශේෂී ජයක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මෙම රජය බලයට පත්වූදා සිට අන් කවරදාටත් වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරන මුදල 25%ක් වැනි ඉහළ අගයකින් වැඩිකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(04) පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“අපේ වෛද්‍ය හැකියාවන් දේශීය වශයෙන් ඉහළ නැංවීමට අපි කටුයුතු කරනවා. ජාතික රුධිර පාරවිලයන ආයතනය, ජාතික පිළිකා ආයතනය, අම්පාර ශික්ෂණ රෝහල, අායුර්වේද රෝහල ආදියෙහි සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඒ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉගෙනීමට ඇති අවස්ථා පුළුල්කර තිබෙනවා. මෙවැනි ආයෝජන නැතුව අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ. ශක්තිමත් ආර්ථිකයක් නැතුව අපට රටක් හැටියට නැගී සිටින්නට බැහැ. ශක්තිමත් ආර්ථිකයක් හොඳ යටිතල පහසුකම්වලින් අපට විදේශ ආයෝජන ගෙනඑනවා. අපට තවත් බොහෝ දේවල් කරන්න තියෙනවා. ඒ සඳහා දේශීය විදේශීය සමාගම්වලට ආයෝජනය කළහැකි රටක් විදිහට ජාත්‍යන්තරය අපිව පිළිගෙන තිබීම සුවිශේෂයි.”

මෙම අවස්ථාවට සහභාගි වූ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ගෝලීය වශයෙන් නැගී සිටීමට නම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සංවර්ධනයක් අත්‍යවශ්‍ය බවයි.

“2015 ජගත් සංවිධානය ප්‍රකාශයට පත්කළ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක සපුරා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ ඉහළ සංවර්ධනයක් ඉතාමත් අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව මධ්‍යම ආර්ථිකයේ සිට ඉහළ ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් අපි ලබාගත යුතුයි. වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ නැගී සිටීම අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා සිදුකරන පර්යේෂණවලට අප උපරිම සහාය ලබා දෙනවා.”

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලන් ලෝපේස් මහතාය. ඒ මහතා ග්‍රන්ථ කිහිපයක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *