දැනටමත් ස්මාර්ට් ජාතික හැඳුම්පත් 75,000 ක් නිකුත් කරලා

(කොළඹ, ලංකාපුවත්) –පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් ක්‍රමයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මේ වන විට නව ස්මාර්ට් හැඳුනුම්පත් 75,000 ක් පමණ නිකුත් කොට ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

මෙම හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මහජනයා තුළ දැඩි උනන්දුවක් පවතින බවත් දිනකට තම දෙපාර්තමේන්තුව මගින් ස්මාර්ට් හැඳුනුම්පත් 1500 ක් පමණ නිකුත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පළමු වතාවට ජාතික හැඳුනුම්පතක් ඉල්ලා සිටින අයට, තම ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වී ඇති අයට සහ තම ජාතික හැඳුනුම්පත දුර්වර්ණ වී අපැහැදිලි තත්ත්වයක පවතින අයට ස්මාර්ට් ජාතික හැඳුනුම්පත ලබා ගත හැකිය.

නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පතේ තොරතුරු භාෂා 3න්ම ඇතුළත් කොට ඇති අතර ඒ සඳහා ලබාදෙන අයඳුම්කරුගේ ඡායාරූපය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්ණායකයන්ට අනුකූල විය යුතුය.

මේ අතර ඉදිරි කාලයේදී ජාතික හැඳුනුම්පතට අයදුම්කරුගේ ඇඟිලි සළකුණ ද ඇතුළත් කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය නීති ඇතුළත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කොට ඇති බව ද ගුණතිලක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *