රට දියුණුව කරා ගෙන යාමට නම් රටේ සියලු අංශ තුළ විනයක් ඇතිවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට දියුණුව කරා ගෙන යාමට නම් රටේ සියලු අංශ තුළ විනයක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

දේශපාලනඥයාගේ සිට සියලු අංශ තුළ එම විනය ඇතිවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණුව ලබන නව සමෘද්ධි නිලධාරින් අමතමිනි.

අද දින පොළොන්නරුවේ පැවැත්වෙන උත්සව සහ වැඩසටහන් රැසකට සහභාගීවීමට ඊයේ (05) පස්වරුවේ පොළොන්නරුවට ගිය ජනාධිපතිතුමා හදිසියේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත ද පැමිණියේය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බි‍්‍රගේඩියර් සුරාජ් බන්සජයා යන මහත්වරුන් විසින් එහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූහ.

අනතුරුව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු පාඨමාලාව හදාරන සමෘද්ධි නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා ඔවුන් සමග සමීපව අදහස් හුවමාරු කරගත්තේ ය.

සමෘද්ධි නිලධාරින් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ලොව දරුණුම ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කර මාතෘ භූමියට නිදහස සහ සාමය උදාකර දීමට අපගේ ආරක්ෂක හමුදාවන්ට හැකිවූයේ ඔවුන් තුළ තිබූ මනා විනය නිසා බවයි.

අවදානම, අධිෂ්ඨානය, කැපවීම සහ අභියෝග ජය ගැනීම පිළිබඳව තම ජීවිතයේ අත්දැකීම් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වැරදි පැත්තට ගමන් කරන සමාජය තුළ නිවැරදි දිශාව කරා පිය මැනීමට පුරුදු පුහුණු වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

පොදු ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීමට සමෘද්ධි නිලධාරින්ට පැවරී ඇති වගකීම ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

“න්‍යායාත්මක හා ප‍්‍රායෝගික පුහුණුව තුළින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය” යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 1521 ක් ඇතුළු නව සමෘද්ධි සංවර්ධන නිලධාරින් 1904 දෙනෙකු වෙනුවෙන් යුධ හමුදාවේ දායකත්වයෙන් මෙම නායකත්වය පුහුණු වැඩසටහන පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *