අද දිනය තුළ දුම්රිය ගමන් වාර 40 ක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති වර්ජනයට අදට(12) දින 05 ක් ගතවී ඇත. මේ හේතුව නිසා දෛනික දුම්රියේ ගමන් පහසුකම් සලසාගන්නා ජනතාවටත්, අද දින ආරම්භ වු අ.පො.ස. සාමාන්‍ය පෙළ දරු දැරියන්ගේ ගමන් පහසුව සැලසීම සඳහාත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හදිසි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී.

ඒ අනුව ඊයේ(11) දිනයේ මගී දුම්රිය වාර 36 ක් හා තෙල් ප්‍රවාහන සේවා සඳහා දුම්රිය වාර 02ක් ක්‍රියාත්මක කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අද දිනයේ ආරම්භ වු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා සහභාගි වන දරු දැරියන්ගේ ගමන් පහසුව ඉලක්ක කර ගනිමින් දුම්රිය ගමන්වාර 40ක් දක්වා වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව විභාගය අපේක්ෂකයින් සදහා පොල්ගහවෙල සිට කොටුව දක්වා දුම්රිය ගමන්වාර 03ක්, අළුත්ගම සිට දුම්රිය 02ක් හා නිරන්තර කෙටි දුර ධාවන ලෙස රාගම සිට කොටුව, පානදුර සිට කොටුව දක්වා දුම්රිය සේවා පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පෙ.ව. 09 වන විට දුම්රිය 15 ක් කොළඹට පැමිණි අතර ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සීඝ්‍රගාමි සුඛෝපභෝගී දුම්රිය ධාවනය කළ බවය.එමෙන්ම අද දින අපොස සාමාන්‍ය පෙළ විභාගයට සහභාගිවන දරු දැරියන්ගේ පහසුව සඳහා සිඝ්‍රගාමී දුම්රියන්, අර්ධ දුම්රිය සේවා ලෙස ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මෙම දුම්රිය සේවා වැඩ පිළිවෙළට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අමතර බස්රථ 1000 ක්, සුඛෝපභෝගි බස්රථ 60ක්, පාසල් සේවා සඳහා යොදා තිබු බස්රථ 650ක් ද ජනතාවගේ දෛනික ගමනාගමන පහසුකම් සඳහා යොදවා ඇති අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහ කල් තියා වෙන් කරවා ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර වලින් ගමන් පහසුකම් ලබා ගත හැකි බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා අවධාරණය කරයි.

ජාතික ගමනා ගමන කොමිසම මෙම වැඩ පිළිවෙලට සහය දක්වමින් විභාග අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සදහා පුද්ගලික බස් රථවලින් ගමනා ගමන පහසුකම් ලබා ගැනීමට හැකි බවත්, අවශ්‍යතාවය අනුව මගී ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැලසිම සදහා වර්ජන කාලය තුල ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍රය සහිත බස් රථයකට ඕනැම මාර්ගයක ධාවනය කිරිමට අවසර ලබා දී ඇති බව දන්වයි.
මේ අතර දුම්රිය සාමාන්‍යධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසුවේ :වර්ජනයට සහභාගි වු සංගම් 07 ක සාමාජිකයින් මේ වන විට සේවය ට වාර්තා කර ඇති බවයි.

01දුම්රිය විදුලි සංදේශ කළමණාකරුවන්ගේ සංගමය
02දුම්රිය මාර්ග හා පාලම් කළමණාකරුවන්ගේ සංගමය
03දුම්රිය මාර්ග හා කර්මාන්තශාලා කළමණාකරුවන්ගේ සංගමය
04දුම්රිය ගොඩනැගිලි අධික්ෂණ කළමණාකරුවන්ගේ සංගමය
05දුම්රිය ධාවන බල කළමණාකරුවන්ගේ සංගමය
06රේල්වේ ලොකෝමෝටිව් ඇන්ඩ් ටෙක්නිකල් ඉන්ජිනියරින් ඇසෝසියේෂන් සංගමය
07ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
යන සංගම් මේ වන විට සේවයට වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − eighteen =