ආණ්ඩු පක්‍ෂයේ ආසන පැනවීමේ වෙනසක් නොබෝ දිනකින්ම

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩු පක්‍ෂයේ ආසන පැනවීමේ වෙනසක් නොබෝ දිනකින්ම බලාපොරොත්තු විය හැකි බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය රජයට කොතරම් චෝදනා එල්ල කළද ඒවා ජනතාව පිළිනොගන්නා බවයි. ඒ බව ඒකාබද්ධ පිලටද දැන් දැන් අවබෝධ වෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආණමඩුව, සියඹලෑව, නෙලිවැව ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදීය. සියඹැලෑව – නෙලිවැව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙම උත්සවය ප‍්‍රදේශවාසීන් විසින් සංවිධාන කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය,

ඒකාබද්ධ පිලේ බොහෝ අය දැන් ඉස්සර තරම් සද්ද දාන්නේ නෑ. බොරු කියමින් ජනතාව රවටන්නත් රට අරාජිත කිරීමටත් ඔවුන් උත්සාහ කළා. දැන් ඒ අයම තේරුම් අරන් තියෙනවා සැබෑ තත්ත්වය. නිදහස් රටක් දුක නැති සමාජයක් වත්මන් යහපාලන රජය යටතේ ගොඩ නැගෙන බව ජනතාවගේ විශ්වාසයයි. කවුරු මොනව කිව්වත් ජනතාව තුළ ඒ විශ්වාසය තිබෙනවා. එබැවින් කොච්චර කෑ ගැහුවත් බොරු කිව්වත් ජනතාව මුලා කළ නොහැකි බව ඒකාබද්ධ පිලේ ගොඩ දෙනෙකුට දැන් තේරුම් ගිහින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා.

මේ තුළ කට්ටියක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡුා සිදු කරන වාතාවරණයකුත් ඇති වෙලා තිබෙනවා. තවත් අය තව තව තැන්වල සාකච්ඡුා සිදුකරනවා වෙන්න පුළුවන්. මේ තත්ත්වය තුළ එහෙන් කී දෙනෙක් මෙහෙට එයිද කියන්න අපි දන්නේ නෑ. මොනදේ වුනත් දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි පරීක්‍ෂණ අඛණ්ඩව සිදු විය යුතුයි. එසේ නොවුනොත් එක්සත් ජාතික පක්‍ෂයට නිහඩව සිටින්නට අපහසු වේවි. ඒ බවත් අපි පැහැදිලිව කිව යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =