වසරේ හොදම උල්කාවර්ෂාව හෙට රාත්‍රියේ

(කොළඹ, ලංකාපුවත්) – වසරේ හොදම උල්කාවර්ෂාව හෙට රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

වසරක් පාසා දෙසැම්බර් 07 – 17 කාලය තුළ දිස්වන ජෙමිනිඩ් නම් වූ උල්කාවර්ෂාවේ උච්ඡතම අවස්ථාව හෙට(13) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට හොදින් දර්ශනය වනු ඇත.

ආලෝක දුෂණයෙන් තොර පැහැදිලි අහසක් සහිත ස්ථානයකදී පස්වරු 09.00න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී අහස මුදුන දෙසත්, අළුයම් කාලයේ දී නැගෙනහිර අහස දෙසත් බැලූ විට කඩාහැලෙන තරු මෙන්දිස්වන මෙම උල්කාවර්ෂාව දැකගත හැකිය.

උපරිම ක්‍රියාකාරීත්වය ඇතිවිට හා අහස මුදුණින් දිස්වන විට හොදින්ම දැකබලා ගත හැකි බැවින් මෙය නැරඹීමට සුදුසුම වේලාව අනිද්දා(14) අළුයම 2.00ත් 4.00ත් අතර කාලය බව චන්දන ජයරත්න මහතා සදහන් කළේය.

පැයකට උල්කා 120ක් පමණ දිස්වෙතැයි අපේක්‍සා කෙරේ. උල්කාවර්ෂා නැරඹීම පියවි ඇසින් කළ යුතු අතර ඒ සදහා දුරේක්‍ෂ සහ දෙනෙති භාවිතා නොකළ යුතුය.

මෙම උල්කාවර්ෂාව දෙසැම්බර් 14 සහ 15 දිනවල ද දර්ශනය වනමුත් එවිට දිස්වන උල්කාප්‍රමාණය තරමක් අඩුය.

මෙම උල්කා වර්ෂාව සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛර්ණ උල්කාවලින් යුතු උල්කාවර්ෂාවක් ලෙස ප්‍රසිද්ධියට පත් උල්කා වර්ෂාවක් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 7 =