සෝම හිමියන් දැයට අහිමිව අදට වසර 14යි

(කොළඹ, ලංකාපුවත්) – විචිත්‍ර දහම් කථිකයාණන් වහන්සේ නමක් වූ ගංගොඩවිල සෝම හිමියන් දැයෙන් සමුගෙන අදට වසර 14ක් සපිරේ.

මෙරට කිසි කලෙක නොවූ විරූ පරිදි මිත්‍යාදෘෂ්ටික මතයන්ගෙන් ගහණ වූ සමයක මෙරට බෞද්ධ ජනතාවගේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් ලෙස ගංගොඩවිල සෝම හිමි හඳුන්වා දිය හැකිය.

සෝම හිමියන්, අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියනුත් අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියනුත් යටතේ පැවිදි බිමට පත්වූ ශ්‍රේෂ්ඨ යතිවරයානන් වහන්සේ නමකි. උන්වහන්සේ පැවිදි වී ඇත්තේ වයස අවුරුදු 25 දී මහරගම ධර්මායතනයේදී ය.

සෝම හිමියන් ත්‍රිපිටක අධ්‍යාපනය ලබා ඇත්තේ බෝලවත්ත ආරණ්‍ය සේනාසනයෙන් වන අතර මාතලේ චේතියගිරි ආරණ්‍ය සේනාසනයෙත් මහඔය ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකත් වැඩසිට තිබේ.

ධර්මායතනයේ භික්ෂුන් එක්වෙලා ත්‍රිපිටක සූත්‍ර සාකච්ඡාවක් කර ඇති අතර එහිදී සෝම හාමුදුරුවෝ පවසා ඇත්තේ ”මම බුද්ධගයාවේ කාලයක් භාවනා කළා, ඒ කාලයේ දී තමයි මට දහම වැටහෙන්න පටන්ගත්තේ” යනුවෙන් ය. ත්‍රිපිටකය ගැන ඉතා හොඳ දැනුමක් තිබුණ උන්වහන්සේට අටුවාටීකා පවා කටපාඩම්ව තිබුණි.

එසේම බුද්ධ ස්තූප පොත ලියන්නට බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබුණු බව උන්වහන්සේ පවසා තිබුණි.

භික්ෂුවගේ ජීවිතයට අත්‍යවශ්‍ය භාවනාව සෝම හිමියන් ප්‍රගුණ කර තිබේ. අල්පේච්ඡතාවයේ පිහිටා කටයුතු කර ඇති එහිමියන් මහඔය ආරණ්‍ය සේනාසනයේ වැඩවසන කාලයේ දී ළඟ තබාගෙන ඇත්තේ තුන් සිවුර සහ පාත්‍රය පමණකි.

සෝම හිමියන්ගේ අභීත ධර්මදේශනා විලාසයට විශාල පිරිසක් උන්වහන්සේ වටා රොක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − two =