පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය පසුගියදා කොළඹ දී පැවැත්වුණු අතර ඒ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බවත් පිළිකා රෝගීන් පිළිබඳව නිවාස මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීම ද අත්‍යාවශ්‍ය බවත් පිළීකා රෝග තුරන් කිරීම සඳහා ආසියානු රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේය.

විශේෂයෙන්ම වසරක් තුල පිළිකා රෝගීන් 20,000 ක් පමණ අලුතින් වාර්තා වන අතර පුරුෂ පක්ෂය මුඛ, පෙණහළු, ගලනාල පිළිකා වලට මුහුණ දී ඇති අයුරුත් කාන්තාවන් පියයුරු, ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකා වලට ගොදුරුව සිටින බවත් පැවසු අමාත්‍යවරයා, විකිරණ ප්‍රතිකාර ක්‍රම ද විධිමත්ව සිදු කරන අතර පිළිකා රෝග පර්යේෂණ වැඩිදියුණූ කර තිබෙන බවත් මහරගම අපේක්ෂා රෝහල, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල්වල ප්‍රතිකාර ක්‍රම විධිමත්ව සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී දමයන්ති පීරිස් මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *