ලක්ෂ 2කටත් වඩා වැටුප් ගන්නා දුම්රිය රියැදුරු වර්ජනය සාධාරණද?

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් 226,000ක මාසික වේතනයක් හා රුපියල් 175,000 ක අතිකාල දීමනාවක් ලබාගන්නා දුම්රිය රියැදුරන් වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය.

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාදාමය අසාධාරණ ඉල්ලීම් මුල්කර ගනිමින් පවත්වන වැඩවර්ජනයක් බවත් ඊට සාර්ථකව මුහුණදීමට කටයුතු සම්පාදනය කරන බවත් අද (12) දින සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදෙන දරු දැරියන්ට අවහිරයක් නොවන පරිදි දුම්රිය ගමන්වාර 50ක් ධාවනය සඳහා කටයුතු සම්පාදනය කරන බවත් හෙතෙම කීවේය.

දුම්රිය රියැදුරන් බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රමවත් කිරීමට ක්‍රියා කිරීමේ දී විභාග ක්‍රමයක් සුදුසු කම්වලින් බඳවා ගැනීමට තිබිය දී එය වළක්වා දෙපාර්තමේන්තුවෙන්ම එම පුරප්පාඩු පුරවන ලෙස ඉල්ලා සිටින වර්ජකයින් වැටුප් ප්‍රශ්නය වැටුප් කොමිසමට යොමුකර තිබිය දී අසාධාරණ වර්ජනයක් කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට දුම්රිය රියැදුරෙකුගේ වැටුප රුපියල් 226,000 ක් වන බව පෙන්වාදුන් ඒ මහතා පසුගිය වසර දෙකහමාර තුළ වැටුප් වැඩිවීම් සිදුවූ බවද පැයක් සේවය කොට පැය එකහමාරක අතිකාල ගන්නා දුම්රිය රියැදුරෙක් අතිකාල පැය 600 ට 175,000ක අතිකාල දීමනා ලබාගන්නා බවද සදහන් කළේය. 2020 වනවිට මොවුන්ගේ පඩි වැඩිවීම රුපියල් 54,000කින් ඉහළ යන බවද ජනාධිපති ලේකම්වරයා සමඟ පැය හතරහමාරක සාකච්ඡාවකින් පසුව එකඟවූ කරුණුවලට පටහැනිව මෙම වර්ජනය සිදුකිරීම අසාධාරණ බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *