දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම සියලුදෙනාගේ වගකීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

උපාධිලාභීන් 1063 දෙනෙක් අතරින් දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් 93 දෙනෙකු පශ්චාත් උපාධි පීඨයෙන් උපාධි ලබාගත් අතර 969 දෙනෙකු මෙහිදී තම මූලික උපාධි හිමිකරගනු ලැබීය.

උපාධි ප‍්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකුට උපාධි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

2017 වසරේ විශිෂ්ටයින්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම අද දවසේ සියලුදෙනාගේ වගකීම බවයි.

විනයක් ඇති උගතුන් මෙන්ම උගතුන්ගෙන් පිරි විනයක් ඇති සමාජයක් ගොඩනැගීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද දවසේ ඉටුකරන විශිෂ්ට කාර්යය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

උපාධි ලැබූ සියලුදෙනාට තම සුබ පැතුම් පළ කළ ජනාධිපතිතුමා හමුදා නිලධාරියෙකු සතු අවංකභාවය, එඩිතරභාවය සහ සටන්කාමිත්වයට උගත්කම එක්වූ විට සියලු ක්ෂේත‍්‍ර ජයග‍්‍රහණය කළ හැකි බව ද කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අද්මිරාල් දයා සඳගිරි මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *