බිම්බෝම්බවලින් නිදහස් මූහමලේ යළි ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බිම්බෝම්බ වැඩිම ප්‍රමාණයක් වළලා තිබුණු කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව සාමාන්‍ය වැසියන් යළි එහි පදිංචි කරවීම සදහා ඊයේ(12) එම ප්‍රදේශය පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී ඇත.

මෙම ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් හා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරන ලදි.

බිම්බෝම්බ ඉවත් කරණ ලද අක්කර 48 ක ප්‍රමාණයක් කිළිනොච්ච්ය පලෙයි ප්‍රාදේශීය ලේකම් ප්‍රමෝද්‍යන් ජෙයරාණි මහත්මිය වෙත බාරදී ඇත්තේ බිම්බෝම්බ ඉවත් කරන ලද අන්තර් ජාතික සංවිධානයේ නියෝජිතයින් විසිනි.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් කිළිනොච්චි ප්‍රදේශය පාලනය කල වකවානුවේදී ඔවුන්ගේ අවසාන මුරපොලත් යුද හමුදා ප්‍රහාරවලින් බේරීමට ඉදි කල ඉදිරි ආරක්ෂක තීරයත් පිහිටා තිබුණේ මෙම මුහමාලේ ප්‍රදේශයේ ය.

මේ නිසා යුදහමුදාව එල්.ටී.ටී.ඊ.පාලන ප්‍රදේශයට ඇතුළු වීම වළක්වා ගැනීම සදහා ඔවුන් මුහමාලේ ප්‍රදේශය පුරා බිම්බෝම්බ අතුරා තිබුණි. එම පළාත තුළ බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස වසර අටක කාලයක් ගත විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *