ජංගම දුරකතනයක් භාවිතා කරමින් විභාගයට පිළිතුරු ලියූ සිසුවාට වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී විභාග නීති රීති කඩකරමින් විභාගයට පෙනී සිටි අනුරාධපුර සිසුවෙකු විභාග තහනමට ලක්කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසීය.

විභාග මධ්‍යස්ථානයට ජංගම දුරකථනයක් රැගෙනවිත් වයිබර් තාක්ෂණය මගින් පිටස්තර පුද්ගලයෙකු මගින් උදව් ලබාගෙන එම සිසුවා විභාගයට පිළිතුරු සපයා ඇත.

මේ පිළිබඳ පැහැදිලි කළ විභාග කොමසාරිස්වරයා මෙසේ ද කියා සිටියේය.

” ජංගම දුරකතනයක් භාවිතා කරමින් විභාගයට පිළිතුරු ලිවීමට උත්සහ කළ ශිෂ්‍යයෙක් ඊයේ අනුරාධපුර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිලධාරින් යොදවලා මේ පිළිබඳව අනාවරණය කරගත්තා..ඒ අනුව ඊයේ රාත්‍රියේ මා වෙත ලැබී තියනවා මේ පලාත් අධ්‍යක්ෂවරයාගේ වාර්තාව ඒ වාර්තාවේ කරුණු අනුව විභාග දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව අපි ශිෂ්‍යයාට අද දින සිට විභාගයට පෙනී සිටීමට අවකාශ ලබා දෙන්න්නේ නෑ..ඊයේ සවස මේ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් අවශ්‍ය තොරතුරු සහ විමර්ශන කටයුතු ආරම්භ කළා..අදාල ජංගම දුරකතනය ඔවුන් සිය භාරයට ගත්තා ඒ අනුව පොලිස් පරීක්ෂණ සිදු වෙනවා…”

මේ අතර ජංගම දුරකථන භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු පිළිබඳවත් තොරතුරු වාර්තා වී තිබේ.

ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සිසුවාගෙන් ප්‍රශ්න කෙරෙන බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේය.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *