උප්පැන්න සහතිකය නොමැති අයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –උප්පැන්න සහතිකය නොමැති වීම සහ පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසකට හැදුනුම්පත් සඳහා විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇත.

මෙම ඒකකයට හැදුනුම්පත් නොමැති ඡන්ද දායකයින්ගෙන් අයදුම්පත් 5000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබි ඇති අතර ඉන් 1000කට පමණ දැනටමත් ජාතික හැඳුනුම්පත් නිකුත් කොට ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

උප්පැන්න සහතික නොමැති ඡන්ද දායකයින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා තමන් පදිංචි කොට්ඨාශයේ හැඳුනුම්පත් ලාභීන් කිට්ටුම ඥාතීන් තිදෙනෙකුගේ සහ දීර්ඝ කාලයක් එම ප්‍රදේශයේ පදිංචි හැදුනුම්පත් තිබෙන තවත් පදිංචිකරුවන් තිදෙනෙකුගේ සහතික, දිවුරුම් ප්‍රකාශයක් ද සමඟ ග්‍රාම නිළධාරි නිර්දේශද සහිතව සිය අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දොපර්තමේන්තුවේ විශේෂ ඒකකයට භාර දිය යුතුය.එමෙන්ම මේ සඳහා අයදුම්කරන ඡන්ද දායකයින් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුය.

ජාතික හැඳුනුම්පත් නොමැති වීමෙන් පළාත් පාලන මැතිවරණවලට ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වී සිටින ඡන්ද දායකයින් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග ද සාකච්ඡා කොට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බව ද වියානි ගුණතිලක මහතා තවදුරටත් කීය.

නව හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවක් කිරීම සඳහා තම දෙපාර්තමේන්තුව විසින් වතු ආශ්‍රීතව ජංගම වැඩසටහන් පවත්වාගෙන යන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *