දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන මාර්තුවේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහි සියලූ කටයුතු පරිසරය සංරක්‍ෂණය කරමින් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද (20) දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වෙමිනි.

රජය සහ හවුල්කාර සමාගමක් සමග ඒකාබද්ධව එම සංචාරක කලාපයේ වැඩ කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසූ වික්‍රමසිංහ මහතා එහි පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කරන බව ද අනාවරණය කළේය.

යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ කටයුතු සඳහා දෙද්දුව, ලුණුගඟ පිහිටි ජෙෆ්රි බාවා මහතාගේ නිවසට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක කළාපයේ කටයුතු පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට ද සහභාගි විය. එහිදී, මෙම සංචාරක කලාපයේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ අවසන් වාර්තාව බෙන්තර ප්‍රාදේශීය ලේකම් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.

“ගාල්ල, දෙද්දුව දකුණු ආසියාවේ හොඳම සංචාරක ප්‍රදේශය කරන ව්‍යාපෘතියේ පළමු පියවර ඇරැඹිම සඳහා අප මෙහි පැමිණියා. සාක්කුවේ සල්ලි තිබෙන සංචාරකයන්ට පැමිණ අසිරිය විඳ ගැනීමට හැකි ආකාරයේ සංචාරක පුරවයක් බවට දෙද්දුව පත් කිරීම මෙහි අරමුණයි. අපගේ අරමුණ සංචාරක ව්‍යාපාරය මෙන්ම සංවර්ධනය පරිසරයට එකඟ, සුන්දරත්වයට හා ජෙෆ්රි බාවාගේ සංකල්පවලට ගැලපෙන වැඩසටහනක් දියත් කිරීමයි. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අදාළ සමාගමේ හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.

අප පරිසරය රැකගත යුතුයි. මෙම සංචාරක ව්‍යාපාරයේ සැබෑ වටිනාකම රදා පවතින්නේ පරිසරය ආරක්‍ෂා කර ගත් විටයි. මෙවැනි සංචාරක පුරවර තවත් අරඹන විට පරිසරය ආරක්‍ෂා කර ගැනීම සදහා වෙනම නීතියක් දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශය හරහා ගෙන එන ලෙස අප දැනුම් දී තිබෙනවා.

මෙහි සියලූ වැඩ කටයුතු අවසන් කොට ලබන මාර්තු මාසය වන විට සංචාරක පුරයේ ඉදිකිරීම් කරන හවුල් සමාගම තෝරා ගැනීමට අදහස් කරනවා. අප මේ සියල්ල කරන්නේ පරිසරය සංරක්‍ෂණය කරමින් බව කිව යුතුයි.

ගාලූ දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ ගුවන් තොටුපොළ දෙකක් මධ්‍යයේයි. එනම් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළයි. එහි මංමාවත් සියල්ලෙහිම වැඩ කටයුතු අවසන් කිරීමට මුදල් සොයා දිය යුතුව තිබුණා. ගාල්ල යනු ඉතා සුන්දර පරිසරයකින් යුතු ප්‍රදේශයක්. බොහෝ විට අප සලකා බලන්නේ ගාල්ලේ වෙරළ තීරය පිළිබඳව පමණයි. නමුත් වෙරළ තීරය මෙන්ම රට අභ්‍යන්තරයේත් ඉතා සුන්දර පරිසරයක් තිබෙනවා.

අකුරල මෙන්ම කොග්ගල ප්‍රදේශයේත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම ගාල්ලේ ඕලන්ද කොටුවත්, ගාල්ල නගරයත් කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. ගාල්ලේ සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වශයෙන් මෙම ජෙෆ්රි බාවාගේ නිවස ආශ්‍රිත පරිසරයට විශාල වටිනාකමක් ලැබෙනවා.

එමෙන්ම අප සිංහරාජ සංවර්ධන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරනවා. අගලවත්ත, හිනිදුම, දෙනියාය, රක්වාන ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිංහරාජ අඩවිය ආරක්‍ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම අපේ අරමුණයි.

මෙහ ඉතා සුවිශේෂී සංචාරක කලාපයක් බව කිව යුතුයි. මෙහි එන සංචාරකයන්ට වෙනත් ස්ථානවලට නොයා සතියක් හෝ දෙකක් පමණ වුවත් මේ ප්‍රදේශයේ පරිසරය විඳ ගැනීමට අවස්ථාව තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන අතරම විහාරස්ථාන දියුණු කිරීම, ඓතිහාසික ස්ථාන සංවර්ධනය කිරීම, කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා ජනතාව පුහුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් සපයා දීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘති තුළින් සියලූම දෙනාට වාසියක් අත් වෙනවා.

සංචාරකයන් පුහුණු කරන පාසලක් දකුණේ ස්ථාපිත කිරීම සඳහා ද අප කටයුතු කරනවා. එක් පැත්තකින් හම්බන්තොටත්, අනෙක් පැත්තෙන් ගාල්ලත් පිහිටා තිබෙන නිසා මේ සංවර්ධනය බදුල්ල දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලැබෙනවා. අද මෙලෙස සනිටුහන් කරන්නේ සංවර්ධන ව්‍යාපාරයේ මූලික වැඩ කටයුත්ත බව කිව යුතුයි.”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − eleven =