අලුත් මාළු විදේශ වෙළෙදපොළට

(කොළඹ, ලංකාපුවත්) –මත්ස්‍ය අපනයනයේ දී ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන විදේශ වෙළෙදපොළට සැපයීමට වගකීමෙන් කටයුතු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අප රටේ අපනයන භාණ්ඩ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ ධීවර ක්ෂේත්‍රයේ සමස්ත අපනයන ආදායම 44% දක්වා ඉහළ නංවාලීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට හැකිවී තිබේ.

මෙම වසරේ සමස්ත මත්ස්‍ය අපනයනය මෙ.ටොන් 18,262කි. ඉන් උපයා ඇති ආදායම රු.මිලියන 28,685කි. විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම රු.මිලියන 1678ක් වන අතර යුරෝපා රටවලට මත්ස්‍ය අපනයනය මෙ.ටොන් 5197ක්. ඉන් උපයා ඇති ආදායම රු.මිලියන 7853කි.

විශේෂයෙන් අමාත්‍යාවරයා සඳහන් කළේ අප රට සමග තරග කළ හැකි රටවල් විශාල ප්‍රමණයක් තිබෙන බැවින් අපේ ධීවර නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහළයාමට ඉඩ නොදී ස්ථාවරව පවත්වාගෙන හැකි වන්නේ අප විසින් වඩාත් හොඳම හා ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන අපනයනය කිරීම තුළින් බවය.

වගකීමෙන් යුතු ධීවර කර්මාන්තයක් වෙත ධීවර ප්‍රජාව යොමු කිරීම සඳහා රජය විශාල වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබේ. එම නිසා නව තාක්ෂණික උපකරණ රැසක් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට හඳුන්වා දී ඇත. එම නවීන තාක්ෂණය භාවිතය තුළින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව ධීවර කර්මාන්ත පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් කිසිඳු අයුරකින් හෝ අන්තර් ජාතික ධීවර නීති රීති උල්ලංඝනය නොකරමින් එම කර්මාන්තයේ යෙදීමට ධීවරයින් උනන්දු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *