ඉන්දීයාවට ලකුණු 93ක පහසු ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(20) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළේ නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ආරම්භ කළ ඉන්දීය පිළේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 38ක්ව තිබිය දීය. දෙවන කඩුල්ල වෙනුවෙන් ශ්‍රේයස් අයියර් හා කුල්නා රාහුල් එක්ව ලකුණු 53ක සබදතාවක් ගොඩ නැගීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුල්නා රාහුල් ලකුණු 61ක් රැස් කළේය. අවසාන පන්දුවාර කිහිපයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි හා මනීෂ් පාන්ඩේ ඉන්දීය ලකුණු පුවරුව ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 180ක් දක්වා රැගෙන යාමට සමත් විය.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අවසාන පන්දුවාර කිහිපයේ දී පුල්ටොස් පන්දු රැසක් යොමු කිරීම කැපී පෙනෙන සිද්ධියකි.

පිලිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන බලඇණිය ඉඩ තැබුවේ නැත. ඒ අනුව පන්දුවාර 16ක දී සියලු ක්‍රීඩකයන් දැවී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරමක් හෝ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ලකුණු 23ක් ලබාගත් උපුල් තරංග පමණයි.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 23කට ශ්‍රී ලංකා පිතිකරුවන් හතර දෙනෙකු දවා ගැනීමට සමත් විය. දෙරට අතර දෙවන පන්දුවාර 20-20 තරගය හෙට (22)පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 6 =