රාජගිරියේ ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිවෙමින් පවතින රාජගිරියේ ගුවන් පාලම ජනවාරි මාසයේ ජනතා අයිතියට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද(21) එක්වෙමිනි. ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට 95%කින් අවසන් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ ගුවන් පාලම පරිශ්‍රයට පැමිණියේය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,700කි. ස්පාඤ්ඤ රජය සහන පොලී ණය ක්‍රමයක් යටතේ මෙම මුදල ලබා දී ඇත. මන්තීරු 4කින් සමන්විත මාර්ගය, දිග මීටර 534කි.

ගුවන් පාලම ඉදිකිරීමෙන් අනතුරුව බොරැල්ල සහ බත්තරමුල්ල අතර විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතය. රාජගිරිය හා ඒ අවට මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට මෙය ඉදිවීමත් සමග විසඳුම් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *