උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

(කොළඹ, ලංකාපුවත්) – සහල් සඳහා පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳ ලංකා සතොස පළමු පියවර ලෙස නාඩු සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සඳහන් කරයි.

පසුගිය 19 වෙනිදා පැවැති ජිවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයාට වඩාත් සහනදායි මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම උදෙසා සතොස හා පෞද්ගලික ආයතන මතින් අවශ්‍ය සහල් තොග ආනයනය කිරීමටත් නාඩු සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇත. ඒ අනුව නාඩු සහල්වල උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 1ක් සඳහා රු: 74.00 ක් ලෙසට ගත් තීරණය නිර්දේශ කර ප‍්‍රකාශයට පත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව වෙත භාර දී තිබේ.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සහල් වර්ග අලෙවි වන සිල්ලර මිල ගණන් පිළිබඳ දිනපතා තොරතුරු එක් රැස් කරන අතර පවතින තත්වය සලකා බලා අවශ්‍ය වුවහොත් අනිකුත් සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් පැනවීම සඳහා කටයුතු සිදු කරනු ඇත.

උත්සව සමයේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින් සෑම දිනකම වෙළෙඳසැල් පරීක්ෂා කරමින් වෙළෙඳපොල වැටලීම් සිදුකරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් දි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *