අතුල රන්සිරිලාල් ජාතික රූපවාහිනියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රූපවාහිනියේ තිස් හතර වසරක සේවයට සමුදෙමින් රූපවාහිනියේ හඩකැවීම් අංශ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතා අද(22) විශ්‍රාම ගනියි.

අපට අපගේ අතීතය සිහියට නැගෙන්නේ සිරුරේ සෑම අස්සක මුල්ලකම සැඟවී ඇති අපගේ ළමා කාලය එළියටම අදිමිනි. සංගීත වැඩසටහන් , නාට්‍ය හා විනෝදාත්මක වැඩසටහන් අතර අපට අමතකම නොවන වීරයෙකි ටයි මාමා. ටයිමාමා අපට කාටූන් නිපදවන විට ඒ අසලම සිටිමින් ටයි මාමාගේ සෙවණැල්ල මෙන් අඩුලුහුඩු බැලූ අප නොදැන සිටි තවත් මාමා කෙනෙකුන් සිටියා. හේ නමින් “අතුල මාමා” විය.

කලුබෝවිල බී.ඩී හේමචන්ද්‍ර වෙද මහතාට දාව සුමනාවතී අල්විස් මාතාවගේ කුසින් මෙලොව එළිය දුටු බමුණුසිංහ ආරච්චිගේ දොන් අතුල රන්සිරිලාල් පෙරේරා සිප්සතර හැදෑරූයේ කොළඹ ඉසිපතන මහා විද්‍යාලයෙනි. උසස් පෙළ අවසානයෙන් කලකට පසු 1983 ඔක්තෝබර් 10 වනදා ජාතික රූපවාහිනිය සෙවණට පැමිණෙන අතුල තරුණයාගේ මුල්ම කුටුම්භය වන්නේ වාර්ථා හා විචිත්‍රාංග ඒකකය විය. සිසිර සුරවීර , මඩවල එස්. රත්නායක , අනෝමා වත්තලදෙණිය වැනි ප්‍රවීණයින් සමඟ එකටම මුහු වෙමින් අත්දැකීම් ලබමින් නිෂ්පාදන සහායකයෙකු ලෙස තම රූපවාහිනී ගමන අරඹන විට අතුල තරුණයාට වයස අවුරුදු 25 ක් ලැබූවා පමණි. 1985 මැයි මසදී අතුල තරුණයාගේ ජීවන මඟ වෙනතකට යොමුවන්නේ හඬකැවීම් මැදිරියේ ටයි මහතා සමඟ රාජකාරී කිරීමට සිදුවීමත් සමගමය.

ටයි මාමා සමඟ හරි හරියට නියම පදමට ළමා වැඩසටහන් නිපදවන අතුල මාමා ඔෂීන් , දොස්තර හොඳ හිත , හා හා හරි හාවා , පිස්සු පූසා , සුරඟන කතා කරළිය , මනුතාපය , යවෙස්ලූ මිනිසා වැනි නිර්මාණ ගණනාවකම දෙවන අයිතිකරු විය. රූපවාහිනිය උඩුයටිකුරු කළ මෙම ළමා නිර්මාණ තුල ගැබ්ව තිබුනේ ළමා සමාජය සුබවාදී දිශාවකටම යොමු කරන ඔවදන්ය. ටයිමාමා රූපවාහිනියෙන් විශ්‍රාම යාමත් සමඟ හඬකැවීමේ මැදිරියේ සම්පූර්ණ බර අතුල මාමා පිටම පැටවුනේ හඬකැවීම සඳහා ජාතික රූපවාහිනිය තුළ සිටි එකම විශ්මකර්මයා අතුල මාමාම වූ බැවිනි.

1983 වසරේ සිට 2017 වසර වන තෙක් ඔහු බිහිකල හා සම්බන්ධ වූ වැඩසටහන් ප්‍රමාණය ඉතා අධිකය. රොබින්සන් අන්දරය , පන්පසිඳුවන් , බෲම් , ඉඟුරුපාන් මල්ලී , වලස්මාමා , කූබිච්චී , දඟර වලිග ලප වානර “ඔහුගේ අදියුරුවම” යටතේ බිහිවූ වැඩසටහන් වලින් කිහිපයකි. එම වැඩසටහන් සඳහා ඔහු විසින්ම ලියූ ගීත රචනාද එකිනෙකට නොදෙවෙනි විය.

අද( 22) අතුල රන්සිරිලාල් මහතා රූපවාහිනී පවුලෙන් සමුගෙන විශ්‍රාම යනු ඇත. එසේම තම මනස හා මසැස මිරිකා බොහෝ සොඳුරු දේ අප වෙනුවෙන් , රටේ දරු පරපුර වෙනුවෙන් තෑගි කොට ඔහුගේ සැඳෑ සමය ගත කිරීම සඳහා අලුත් පරිච්ඡේදයක් මෙසේ ඇරඹෙනු ඇත. විශ්‍රාම යාමෙන් පසුව ඔහු විසින් අරඹන ඔහුගේ ඇකඩමියේ රාජකාරී ආරම්භ කරනු ඇත. නමින් Lanka Television & Radio Academy වන මෙහි මූලික අරමුණ වන්නේ රටේ සුභාවිත මාධ්‍ය භාවිතය පිළිබඳ ඉදිරියට එන නවක පරපුර පුහුණු කිරීමයි. එසේම අද දවසේ දී “හඬකැවීමේ කලාව” නමින් ග්‍රන්ථයක්ද ඔහු විසින් එළිදක්වනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *