ලබන වසරේ ප්‍රමුඛත්වය අඩු ආදයම්ලාභි ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීමයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ සංවර්ධන සැලසුම්වලදී ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුත්තේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කෙරෙන ව්‍යාපෘති සඳහා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

පසුගිය වසර තුන තුළ ද රජය ප‍්‍රමුඛත්වය ලබාදුන්නේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවමින් ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා බව පැවසූ ජනාධිපතිතුමා දිළිඳුභාවයෙන් පීඩාවිඳින ග‍්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නඟාසිටුවීම වත්මන් රජය ප‍්‍රමුඛ කටයුත්තක් සේ ඉටුකරන බව ද කියා සිටියේය.

එසේම සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කිරීමේදී මනා මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකාරිත්වයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පොදු ජනතාවගේ මුදල් අපතේ නොයවා ඉන් උපරිම ප‍්‍රතිලාභ ඔවුන්ට අත්කර දීම නිලධාරින්ගේ වගකීම බව ද පැවසීය.

තැනට නොගැළපෙන අයුරින් මහජන මුදල් අපතේ යවමින් සිදුකර තිබෙන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තමා වෙත ලැබී ඇති තොරතුරු පිළිබඳව ද මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිතුමා ව්‍යාපෘති සැලසුම් කිරීමේදී තැනට සුදුසු පරිදි සුදුසු දේ ලබාදීම පිළිබඳ නිලධාරින් වැඩි අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

එමෙන්ම නගරයේ සහ මගදෙපස තිබෙන පාසල්, රෝහල්, විහාරස්ථාන ඇතුළු පොදු ස්ථානවල සංවර්ධනය පමණක් නොව ඈත එපිට ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය දේ පිළිබඳව ද අවධානය යොමු කරමින් එම පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීමට ද ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරනු ලැබීය.

සංවර්ධනයේ පසුබෑමකට ලක්ව තිබූ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් සංවර්ධනයේ ප‍්‍රතිලාභ අත්කර දීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන 2015 වසරේදී ආරම්භ කෙරිණි.

ව්‍යාපෘතියේ සියයට 50 ක පමණ කටයුතු මේ වන විට සම්පූර්ණ කර තිබෙන අතර, පසුගිය වසරවල අත්දැකීම් සමග නව වසරේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සංවර්ධනය පූර්ණ ලෙස සිදුව ඇතැයි නම් කෙරෙන දිස්ති‍්‍රක්ක මට්ටමට පොළොන්නරුව දිස්ති‍්‍රක්කය 2018-2019 කාල සීමාව තුළ රැගෙන ඒමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබෙනු ඇති බවයි.

දිස්ති‍්‍රක්කයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් සංවර්ධනය සඳහා 2018 වසරේ ප‍්‍රමුඛතාවය ලබාදෙන ලෙසයි.

එමෙන්ම 2018 වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන අතර ඒ හා සමගාමීව කෘෂිකර්මාන්තය සඳහා මෙන්ම පශු සම්පත් සංවර්ධනය පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පශු සම්පත් ක්ෂේත‍්‍රයේ නව වසරේ වැඩපිළිවෙළ පිළිබඳව ද අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීය.

දේශීය කිරි කර්මාන්ත ශක්තිමත් කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය කිරි ගවයන් ලබාදීම ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළේය.

දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය රෝහල් සංවර්ධනය, පානීය ජල සම්පාදන ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, වාරිමාර්ග සංවර්ධනය, පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය, ආගමික ස්ථාන සංවර්ධනය, ක්‍රීඩා ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල සංවර්ධනය උදෙසා ගෙන යන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයින් සහ දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *