ලෝක පාපන්දු කුසලානය රැගෙන ලොව වටා යන ගමනේ ප‍්‍රථම රට ලෙස ශ‍්‍රී ලංකාව තේරෙයි

(කොළඹ, ලංකාපුවත්) –එළැඹෙන 2018 වසරේ රුසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරගාවලියේ කුසලානය ක‍්‍රීඩා ලෝලීන්ට දැකබලා ගැනීම සඳහා රටවල් 54 ක සංචාරය කෙරෙන අතර මෙවර කුසලානය සංචාරය කෙරෙන ප‍්‍රථම රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හා අනුග‍්‍රාහකත්වය දක්වන ආයතන නියෝජිතයින් ඒ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිල වශයෙන් දැනුවත් කිරීම ඊයේ (21) ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

2018 ජනවාරි මස 23 දින පස්වරුවේ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ලෝක පාපන්දු කුසලානය අනතුරුව ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව ඇත.

පාපන්දු ලෝක කුසලානය ලොවට හඳුන්වාදීමේ ප‍්‍රථම අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවීම ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් වන අතර එය ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නකි.
ජනවාරි 24 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන ලෝක පාපන්දු කුසලානය එදිනම පස්වරුවේ මාලදිවයින කරා රැගෙන යාමට නියමිතය.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක, ක‍්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *