සැලැස්මෙන්, දැක්මෙන් සහ එකමුතුකමින් රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –සැලැස්මෙන්, දැක්මෙන් සහ එකමුතුකමින් රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ(21) මේ බව සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 1900 ක වියදමින් ඉදිකළ හෝමාගම බස්නැවතුම්පලේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පැවරුණි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යටතේ මෙය ඉදිකෙරුණි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ බස්නාහිර මහා සංවර්ධන සැලැස්මට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

බස්නාහිර මහා නගර සංවර්ධන සැලැස්මට අනුව ශීඝ්‍රයෙන් සංවර්ධනය වන හෝමාගම නගරයේ පවතින ජනාකීර්ණ තත්ත්වයට ගැලපෙන අයුරින් මෙම බස්නැවතුම්පොල ඉදිකර තිබේ.

රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සියල්ල මනා සැලසුමකින් යුක්තව ක්‍රියාත්මක කරන බව එහි පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

“අපි සැලැස්මක් අනුව නුවර ඉඳන් හම්බන්තොට වෙනකම් මාර්ග පද්ධතියක් ඇති කරනවා… රටේ ජනාකීර්ණම ප්‍රදේශවල… අපි සැලැස්මක් අනුව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශයේ මහනගරයක් ඉඳි කරනවා… මේ සියල්ලම එක දර්ශනයක් මේ රට ශක්තිමත් ආර්ථිකයක් ලබලා දෙන්න… ජනතාවගේ අතේ මීට වඩා මුදල් ලබලා දෙන්න… මෙතෙක් කල් සැලැස්මක් තිබුණේ නෑ… දර්ශනයක් තිබුණේ නෑ… එකමුතුකමක් තිබුණේ නෑ… දැන් දර්ශනයයි, එකමුතුකමයි තියෙනවා… සැළැස්මක් තියෙනවා… ඒ නිසා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා… වෙළඳ ආර්ථකයකින් දියුණු වෙන්න… දැන් ලංකාවට තියෙනවා අවස්ථාවක්… බෞද්ධ රටවල් අතරින් අදට ඒ දියුණුව කරා යන්නේ තායිලන්තය පමණයි…. ඒත් දැන් ථේරවාද බුද්ධාගම ලෝකේට ලබලා දුන්න ලංකාවේ අපි ඒ සීඝ්‍ර දියුණුව ඇති කරන්ට ඕනේ…” එහිදී අගමැතිවරයා පැවසීය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *