දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැසෙන සන්ධිස්ථානයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අසිරිමත් විශ්ව මංගල්‍යයක දේශීය කොටස්කරුවන් වෙමින් මෙවර නත්තල සමරන සහෝදර කිතුනු ජනතාව වෙත මාගේ සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල් දින පණිවිඩ‍ෙයන් සදහන් කරයි.

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණ ගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුර මානව ඉතිහාසය තුළ සුවිශේෂ භූමිකාවක් හිමිකර ගෙන සිටී.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල්බැසගෙන පැවති සමයකය. දේව වරමක මහිමය හිස දරා සිටියේ වුවද උන්වහන්සේ එකී දුර්ගුණයන් මැඩලීම උදෙසා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කළේ ද මග පෙන්වනු ලැබුවේ ද සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේ සාමාජිකයෙකුට අත්විඳීමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමිනි. එදා මිහිපිට ජීවත් වූ මිනිසාට මිනිස්කමේ ගැඹුර ද ඒ තුළ රඳවා ගතයුතු පරමාදර්ශී ගුණය ද නිවැරදිව හඳුනා ගැනීමට හැකිවූයේ ඒ අනුවය.

අද මුළුමහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳව සලකා බැලීමේදී අප ඊට විසඳුම් සොයා යා යුතු මග ඒ තුළ මැනවින් සනිටුහන් කර තිබේ. එනම් මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියල්ලටම විසඳුම් සොයාගත හැකිවනු වගය. එහිදී තමා ද ජයගනිමින් අනෙකා කෙරෙහි දක්වන දයාව හා කරුණාව අවසානයේ සමස්ත මානව වර්ගයා සහජීවනය වෙත යොමුකරවන බවය. මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සෑම ගිනි අවියක්ම නිහඬ කර සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාමත් කරගත හැක්කේ එවන් මගක යන ගමනකය. එම උත්තරීතර චින්තනය සැබෑ කරන්නා වූ ඒ මියුරු රිදී සීනු නාදය මේ නත්තලේ දී ලොව පුරා දසදෙසෙහි රැව් නැගේවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + six =