තැපැල් ඡන්දය ජනවාරි 25-26 දිනවල දී

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණයේදි තැපැල් ඡන්දදායකයන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම ජනවාරි මස 25 හා 26දෙදින තුළ සිදු වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අතිරේක කොමසාරිස්වරයා මෙසේද කීය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඉකුත් 22 අවසන් කෙරුණා. ඒ අනුව ලැබි තිබෙන තැපැල් ඡන්ද අයැදුම් පත්‍ර පරීක්ෂා කරමින් එම නාම ලේඛන සකස් කරගෙන යනවා. එම නාමලේඛන සකස් කොට සහතික කිරීම ලබන 08වනදා සිදු කරන්න නියමිතව තිබෙනවා. ඊට පසු එම නාමලේඛනවල නම් සඳහන් අයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු තැපෑලෙන් යෑවිම සඳහා තැපෑලට භාරදීම 11වනදා සිදු කරනවා. මෙහිදි තේරීම්භාර නිලධාරින් මෙම ඡන්ද පත්‍රිකා පැකට්ටු තැපෑලට භාරදෙන්නේ අදාළ සහතික කිරීමේ නිලධාරින් වෙත යැවිමටයි.

ඊට පසු එම පත්‍රිකා කාර්යාලවල තබාගෙන සිට ඡන්ද සලකුණු කිරීම ලබන 25 හා 26 දෙදින සිදුවෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතන 341ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා 1786ක් හා ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා 232 ක් භාරදුන් අතර එහිදි පිළිගත් දේශපාලන පක්ෂවල නාමයෝජනා 39ක්ද ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 13ක්ද ප්‍රතික්ෂේවි තිබේ.

වසර 1969-70 වකවානුවෙන් පසු රටපුරා තිබෙන පළාත් පාලන ආයතන සියල්ල සදහා එකවර ඡන්ද විමසීම සිදු කිරීම මෙවර විශේෂයකි. මෙහිදි මහ නගර සභා විසි හතරක් , නගර සභා හතළිස් එකක් හා ප්‍රාදේශීය සභා දෙසිය හැත්තෑහයක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර මෙම ආයතන සඳහා මන්ත්‍රීවරු අටදහස් හාරසිය අසුහයක් පමන පත්වීමට නියමිතයි. කොට්ඨාස වලින් පත්වන සභික සංඛ්‍යාවේද හයසීයක පමණ වැඩිවීමක් සිදු වී තිබෙන අතර එම ප්‍රමාණය පන්දහස් අනු දෙකක් වී තිබේ.

සංශෝධිත පළාත් පාලන මැතිවරණ පනතට අනුව 60%ක් කොට්ඨාසවලින්ද 40%ක් ලැයිස්තුවෙන් ද සභිකයෝ පත් වෙති. මෙවර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් පත්වන්නේ කොළඹ නගර සභාවෙන්ය. එය එකසිය දහතුන් දෙනෙකි. ඡන්ද මධ්‍යස්ථාන නියෝජතයින් පත් කිරීම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩයම නියෝජනය කරමින් එක්මධ්‍යස්ථානයකට දෙදෙනකු පත් කළ හැකියි. මෙම පත්වීම කළ හැක්කේ පක්ෂයක් නම් එහි ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩයමක් නම් එහි නායකයාට වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *