පළාත් පාලන ඡන්දයට තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන 341 ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ සඳහා වන තැපැල් ඡන්ද විමසීම ජනවාරි 25 සහ 26 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.

මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල සමඟ තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකෙරේ.

තැපැල් ඡන්ද විමසීමෙන් පසු එම ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන සඳහා පත්කොට ඇති තේරීම් බාර නිලධාරීන් වෙත යවනු ලබන අතර ඔවුන් විසින් ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත යවනු ඇත.

එහිදී අනෙකුත් ඡන්ද පත්‍රිකා සමඟ මිශ්‍රකොට එම තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන බවද මහින්ද දේශප්‍රිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(26) පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට ඇති මාධ්‍ය උපමාන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *