ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එහි පිරිපහදු කළමනාකරු ධුරයෙහි මේ දක්වා කටයුතු කළ නීල් ජයසේකර මහතා පත් කෙරේ.

ඔහු සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද(27) උදෑසන දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැති චාම් උත්සවයකදීය. එම අවස්ථාව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි මාරසිංහ මහතාත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාත් සහභාගි වූහ.

අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ධුරයට (වැ.බ) පත් කෙරුණු නීල් ජයසේකර මහතා මීට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදු කළමනාකරු ධුරය වසර 7ක් දැරීය. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරියෙකි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ඉංජිනේරුවරයකු ලෙස ඔහු මුල්වරට පත්වීම් ලබන්නේ 1981 අගෝස්තු 03වැනිදායි. අනතුරුව ඔහු සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ධුරයට පසුව එන ඉහළම තනතුර වූ පිරිපහදු කළමනාකරු ධුරයට පත් වන්නේ 2010 වර්ෂයේදීය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර 36කට වැඩි කාලයක අත්දැකීම් ඇති ඔහු ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. එමෙන්ම වරලත් ඉංජිනේරුවරයෙකි. සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් කැපවෙන සේවකයින්ට සහ නිලධාරීන්ට ඉහළ තනතුරුවලට පැමිණීමේ අවස්ථාව උදා කරමින් ඔහු කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් කළ බව අද එම උත්සවයට සහභාගි වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“ඕනෑම කෙනකුට තමන්ගේ ආයතනයේ ඉහළම තනතුරට යන්න අවස්ථාව තිබිය යුතුයි. නමුත් මේ ආයතනයේ එම අවස්ථාව තිබුණේ නැහැ. අපි දැන් එය වෙනස් කළා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම 2015 ජනවාරි මාසයේදී අපේ ආණ්ඩුව පිහිටුවීමේදී අපේ අරමුණක් වුණා. එය මම වරාය අමාත්‍යවරයා ලෙස සිටියදී වරාය අධිකාරිය තුළ සිදු කළා. බිලියන 11ක ලාභයක් ලබා ගැනීමට හැකිවුණා. ඒ සඳහා ඉවහල් වුණු එක කරුණක් වුණේ වරාය අධිකාරියේම දක්ෂ සේවකයින්ට නිලධාරීන්ට ඉහළ තනතුරුවලට පැමිණීමට අවස්ථාව උදා කිරීම. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් අද මම හඳුන්වා දෙන්නේත් එම ක්‍රමවේදය. අපිට අවශ්‍ය වන්නේ ජනප්‍රිය පුද්ගලයින් නෙමෙයි. දක්ෂ පුද්ගලයින්. රැකියාවක් පමණක් කරනවා යන සිතුවිල්ලෙන් එපිටට ගොස් ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවුණු පිරිස්…..” යනුවෙන්ද පැවසූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ ඉදිරියේදී නව මානව සැලැස්මක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

පාරිභෝගික ජනතාව තෘප්තියට පත් කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉදිරියේදී පැවරෙන වගකීමක් බවත් එය ඉටු කිරීමට නව කළමනාකරණ අධ්‍යක්ෂවරයාට හැකියාව ඇති බවත් මෙම උත්සවයට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි මාරසිංහ මහතා පැවසීය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම උත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *