හම්බන්තොට වරාය ගිවිසුමේ මුදල් මහ බැංකුවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම අතර ඇතිකරගත් ගිවිසුමට අනුව අමෙරිකා ඩොලර් මිලියන 292.1 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වාගෙන යන අමෙරිකා ඩොලර් ගිණුමට බැරකොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු ගිණුමට මෙම මුදල බැරකොට ඇත්තේ හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමෙන් ලබාගත් මූලික මුදල ලෙසය.

චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක කිරීමට හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දීමේ ගිවිසුම පසුගිය 9 වනදා සිදුකෙරුණි. ඒ අනුව වරායේ මෙහෙයුම් කටයුතු හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් යන සමාගම් දෙකට පවරා දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව මසකට පසු ආයෝජිත වටිනාකමින් 10% ක මුදලක් ගෙවීමට නියමිතව තිබිණ.

30% ක මුදලක් මාස 3 කට පසු ද ඉතිරි 60% මාස 6 කට පසු ද ගෙවීමට සිදුව තිබෙනවා. 99 වසරක බදු ගිවිසුම යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 1.12 ක මුදලක් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීමට එකඟතාව පළකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *