“නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත්කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.

වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් සඳහා වන “නිදහසේ සම්මුතිය” මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසිදු සහ නිර්මල දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබඳතාවයක් නොසළකන බවයි.

රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන, අවංක, ඝෘජු දේශපාලන නවකයින් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපේ්ක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අවංක, පිරිසිදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගනිමින් අනාගතයේ දී යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන ප‍්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළයුතු බව ද කියා සිටියේය.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයෙකුට පුද්ගලික න්‍යාය පත‍්‍රයක් තිබිය නොහැකි අතර, ඒ සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රටේ, ජාතියේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වූ පොදු න්‍යාය පත‍්‍රයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීමට හැකීවීම විශාල ජයග‍්‍රහණයක් බවත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ප‍්‍රවේශය ඒ තුළින් සිදුවන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, පසුගිය වසර දෙකේ ආණ්ඩුව තුළත්, විපක්ෂය තුළන් ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදුවූ ආකාරය ද සිහිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප‍්‍රකාශයට පත් කරන නිදහසේ සම්මුතිය රටේත්, ජාතියේත් මෙන්ම අද සිටින සහ හෙට උපදින දරු පරපුරේ අනාගතය වෙනුවෙන් වූ සම්මුතියක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එම සම්මුතිය තුළ යහපත් අනාගත දේශපාලන දැක්මත් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් රට තුළ ගොඩනැගෙනු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම විනයෙන්, හික්මීමෙන් හා මැතිවරණ නීතිරිතීවලට අනුකූලව ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් සදහා සියලුදෙනාගේ කැපවීම ද මෙහිදී අවධාරණ කළ ජනාධිතිතුමා යහපත් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ජනතාවට ලබාදෙන පණිවිඩය එය බවද සඳහන් කළේය.

නිදහසේ සම්මුතිය පිළිබඳ ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ අතර සියලුදෙනා එක්ව නිදහසේ සම්මුති ප‍්‍රතිඥාව සහ දිවුරුම්දීම සිදු කළහ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *